ගුවන් හමුදාවේ “ගුවන් මිතුදම්” ව්‍යාපෘතිය හරහා පාසල්වලට සහාය

දෙසැම්බර් 01, 2021

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කොත්මලේ පූඩළු ඔය, සුමංගල ප්‍රාථමික විද්‍යාලයේ සහ වවුනියාව, සින්නතම්පනේ ශ්‍රී ක්‍රිෂ්ණා විද්‍යාලයේ නවීකරණය කරන ලද යටිතල පහසුකම් කිහිපයක් පසුගියදා සිසු අයිතියට පත් කරන ලදි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ආරම්භ කරන ලද ‘ගුවන් මිතුදම්’ ව්‍යාපෘතිය යටතේ මෙම සමාජ සත්කාර වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ඒකකය වාර්තා කරයි.

මෙම බහු අදියර ව්‍යාපෘතියේ 20 වන අදියර යටතේ ගුවන් හමුදාව විසින් පූඩළු ඔය සුමංගල ප්‍රාථමික විද්‍යාලයේ නව විදුලි රැහැන් පද්ධතියක් ස්ථාපනය කිරීම ඇතුළුව පාසල ප්‍රතිසංස්කරණය කිරීම සිදු කර ඇත.

මීට පෙර 19 වැනි අදියර යටතේ වවුනියාව සින්නතම්පනේ ශ්‍රී ක්‍රිෂ්ණා විද්‍යාලයේ පහසුකම් සංවර්ධනය කරන ලදි.

මෙම ව්‍යාපෘතීන් සඳහා අරමුදල් සපයන ලද්දේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ අදාල ගුවන් හමුදා ස්ථාන විසින් බව එහි සඳහන් වේ.

දිවයිනේ මධ්‍යම සහ උතුරු පළාත්වල පිහිටි මෙම පාසල් දෙකෙහි අධ්‍යාපනය ලබන සිසුන්ට වැඩිදියුණු කරන ලද පහසුකම් ඉමහත් ප්‍රතිලාභයක් වනු ඇත.