සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නිෂ්පාදනය කළ කාබනික පොහොර ලක් පොහොර සමාගමට භාර දෙයි

දෙසැම්බර් 02, 2021

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව "නිරෝගීමත් සහ ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතුය. ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා මුළුමනින්ම කාබනික පොහොර යොදා ගැනීමට එම නිෂ්පාදන වේගවත් කළ යුතුය" යන ඉලක්ක ජය ගැනීමට දායකත්වය ලබා දෙමින් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සිදුකරනු ලබයි.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ උපදෙස් පරිදි ත්‍රිකුණාමලය බලකාය මගින් නිෂ්පාදනය කළ කාබනික පොහොර කිලෝ 7600 ක ප්‍රමාණයක් රසායනාගාර පරීක්‍ෂණයන්ට ලක්කර තත්ව පරීක්‍ෂාවක් සිදුකිරීමෙන් අනතුරුව ත්‍රිකුණාමලය අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ආර්එම්බී රත්නායක ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් රජයේ ලක් පොහොර සමාගමේ කන්තලේ ගබඩාව වෙත 2021 නොවැම්බර් මස 29 වන දින භාර දෙන ලදී.

දිවයින පුරා පිහිටා ඇති බලකා සහ පුහුණු පාසල් 24ක කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘති ආරම්භ කරන ලද අතර, මේ වන විට කාබනික පොහොර කිලෝග්‍රෑම් 1,064,000 ක ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇති අතර, මෙම වසර අවසානය වන විට නියමිත ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර කිලෝග්‍රෑම් 4,000,000ක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තුවේ.

අනුග්‍රහය - www.csd.lk