සන්නද්ධ හමුදාවන් වෙත උසස් තත්වයේ මුහුණු ආවරණ

දෙසැම්බර් 03, 2021

සම්පුර්ණයෙන්ම කපු භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද මුහුණු ආවරණ තොගයක්, ‘Esquel Sri Lanka Limited’ වෙතින් කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පසුගියදා යුද හමුදා මූලස්ථානයේ දී ප්‍රදානය කරන ලදී.

‘Esquel Sri Lanka Limited’ ආයතනයේ වැඩබලන ප්‍රධාන කළමනාකරු රසිකා අමරකෝන් ඇතුළු එහි නියෝජිතයින් විසින් කොවිඩ් -19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ත්‍රිවිධ හමුදාව විසින් සිදු කරනු ලබන කාර්යය අගය කිරීමක් ලෙස මෙම පරිත්‍යාගය සිදු කළ බව යුද හමුදාව පවසයි.

මේ අතර, ‘Meditechnology Holdings’ විසින් රුපියල් මිලියන 2.5ක් පමණ වටිනා ‘Mindray Portable Ultrasound’  වර්ගයේ ස්කෑනර් යන්ත්‍රයක් කොළඹ යුද හමුදා රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත පසුගියදා පරිත්‍යාග කරන ලදී.

යුද හමුදා රෝහලේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චම්පක අත්තනායක වෙත ‘Meditechnology Holdings’ හි සහකාර ප්‍රධාන කළමනාකරු රංග ජයකොඩි මහතා විසින් මෙම පරිත්‍යාගය ලබා දී ඇති බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම අවස්ථාවට යුද හමුදා රෝහලේ විකිරණ විද්‍යාව පිලිබඳ විශේෂඥ වෛද්‍ය සහ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සහ ‘Meditechnology Holdings’ ආයතනයේ නිෂ්පාදන ඉංජිනේරුවරයා සහභාගී වූ බව ද යුද හමුදාව සඳහන් කරයි.