පානම සහ පොතුවිල් පවුල් දෙකක් වෙත යුද හමුදාවෙන් නව නිවාස

දෙසැම්බර් 04, 2021

පානම සහ පොතුවිල් ප්‍රදේශයේ පදිංචි පවුල් දෙකක් සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නව නිවාස දෙකක් ඉදිකර ඔවුන් වෙත භාරදීම පසුගියදා සිදුකරන ලදි.

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරි කරනු ලබන යුද හමුදා භට පිරිස් විසින් ඔවුන්ගේ තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය ලබා දෙමින් නව නිවාස දෙක ඉදිකර ඇති අතර, මේ සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිපාදන ලබාදී ඇති බව යුද හමුදාව පවසයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් දියත් කරනු ලබන ‘ඔබට ගෙයක් - රටට හෙටක්’ නිවාස ව්‍යාපෘතිය යටතේ මෙම අරමුදල් ලබා දී ඇති බව ද යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව, පානම ප්‍රදේශයේ කේ. මලේතන සහ පොතුවිල් ප්‍රදේශයේ සිත්ති ෆාතිමා යන අයගේ පවුලේ වෙත මෙම නව නිවාස ලබා දෙන ලදි.

නිවාස භාරදීම සඳහා පැවති කෙටි උත්සවයේදී, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය විසින් ඔවුන් වෙත නව නිවාසවල යතුරු ප්‍රදානය කරන ලදි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් සහ නිවාස ප්‍රතිලාභීන්ගේ පවුල්වල සාමාජිකයින් ද මේ අවස්ථාවන් සඳහා සහභාගී වූහ.