එස්. එල්. ටී. මොබිටෙල් සබුද්ධි ක්‍රීඩා රන් සම්මාන දිනේෂ්ට සහ දුලාන්ට

දෙසැම්බර් 04, 2021

ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිල සහයෝගිතාවෙන් පැවැති එස්. එල්. ටී. මොබිටෙල් සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන 2020 උළෙලේ වසරේ සබුද්ධි ක්‍රීඩා රන් සම්මානයෙන් පැරාඔලිම්පික් රන්පදක්කම්ලාභී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බලලත් නිලධාරී 1 දිනේෂ් ප්‍රියන්ත සහ ලෝකඩ පදක්කම්ලාභී කෝප්‍රල් සමිත දුලාන් පිදුම් ලැබීය.

සම්මාන උළෙල තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස (දෙසැම්බර් 03) ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගරයේදී පැවැත්විණ.

වසරේ සබුද්ධි ක්‍රීඩා රන් සම්මානය පිරිනැමෙන්නේ ක්‍රීඩා සාහිත්‍යයේ ප්‍රමුඛව ක්‍රීඩා සංස්කෘතියේ උද්දීපනයට කැප වූ ජාත්‍යන්තරය ජයගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙනි.

ගියවර මෙම සම්මානය සුසන්තිකා ජයසිංහට හිමි විය. පසුගිය පැරා ඔලිම්පික් උළෙලේ දී ශ්‍රී ලංකා මාතාවට ලබා දුන් ඉහළ කීර්තිය ඇගයීමට ලක් කිරීමක් ලෙස මෙවර එම සම්මානය සමිත සහ දුලාන්ට පිරිනමන ලදී.

සම්මාන පිරිනැමීමේ අවස්ථාව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය ඇතුළු සම්භාවනීය අමුත්තෝ එක් වූහ. “ද චාන්ස් ස්පෝර්ට්ස් රන්” අනුග්‍රහයෙන් පැවති මෙම සම්මාන උළෙල සබුද්ධි සාහිත්‍ය කවය විසින් දෙවැනි වරටත් සංවිධානය කරන ලදී.

ක්‍රීඩා සාහිත්‍ය විෂය කර ගනිමින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එකම සම්මාන උළෙල මෙය යි.