ආරක්‍ෂක ලේකම් පොත් එළිදැක්වීමේ උත්සවයකට සහභාගි වෙයි

දෙසැම්බර් 05, 2021

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් කොළඹ දී අද (දෙසැම්බර් 05) දින සංවිධානය කරන ලද ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහභාගි විය.

මෙහිදී, සැරයන් අනූෂා ජයතිලක (විශ්‍රාමික) ගේ කාව්‍ය සංග්‍රහයේ මුල් පිටපත ආරක්‍ෂක ලේකම්වරයා වෙත පිළිගන්වන ලදී.

සාහිත්‍ය කටයුතුවල ද නිරත වන අයෙකු ලෙස ජෙනරල් ගුණරත්න, නැඟී එන සාහිත්‍යකරුවන්ගේ වැදගත්කම සහ මව්බිමේ අභිවෘද්ධිය සඳහා අපමණ සේවයක් කළ රණවිරුවන්ගේ පනිවුඩය සමාජගත කිරීමට ඔවුන් දරන උත්සාහය මෙහිදී අගය කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරල් උපුල් පෙරේරා (විශ්‍රාමික), ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සුභසාධන අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් හේමන්ත සොයිසා සහ සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් ද සහභාගී වූහ.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම උත්සවය පැවැත්විණි.