යාපනයේ තරුණයින් සඳහා ජීවිතාරක්ෂක පුහුණුවක්

දෙසැම්බර් 08, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනයේ තරුණයින් පිරිසකට ජීවිතාරක්ෂක පාඨමාලාවක් පසුගියදා සිදුකරන ලදී. යාපනය, කරෙයිනගර් ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනයේ දී පැවති මෙම වැඩසටහනට තරුණයින් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වී ඇති බව නාවික හමුදා මාධ්‍ය වාර්තා කරයි.

නාවික සමාජ වගකීම් වැඩසටහනේ කොටසක් ලෙස නාවික හමුදා උතුරු නාවික විධානය විසින් ජීවිතාරක්ෂක ලෝකඩ පදක්කම් 2021/01 සහ 2021/02 ජීවිතාරක්ෂක පුහුණු පාඨමාලාවන් පවත්වන ලදී.

සති තුනක කාලයක පැවති මෙම පාඨමාලාව අවසානයේ එහි සහතිකපත් ප්‍රදානය උතුරු පළාත් ආණ්ඩුකාර ගරු ජීවන් ත්‍යාගරාජා සහ උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් මස 05 වැනි දින පැවැත්විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය, නෝර්ත්වින්ඩ් ‍ප්‍රොජෙක්ට් සංගමයේ සහයෝගයෙන් මෙම ජීවිතාරක්ෂක පාඨමාලාව පවත්වන ලදී.

කොවිඩ් - 19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්විණි.