ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 71 වන සංවත්සරය සමරයි

දෙසැම්බර් 09, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 71 වන සංවත්සරය අද (දෙසැම්බර් 09) දින සමරයි.

ඊට සමගාමිව සර්ව ආගමික වතාවත් මාලාවක් පැවැත්වූ අතර නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ මඟපෙන්වීම යටතේ සංවත්සර සැමරුම් උත්සව පැවැත්වේ.

මෙම සැමරුම් උත්සවයේ අංගයක් ලෙස, ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකා ගාලු මුවදොර ඉදිරිපස මුහුදු තීරයේ නැංගුරම්ලා ඇති අතර අද සහ හෙට (දෙසැම්බර් 09 සහ 10) දිනයන්හි මහජනතාවට ඒවා දැකබලා ගැනීමේ දුර්ලභ අවස්ථාව ලබා දේ.

දේශයේ පළමු ආරක්ෂක වළල්ල ලෙස හැඳින්වෙන නාවික හමුදාව මානුෂිය මෙහෙයුමේදී විශාල කාර්යභාරයක් සිදුකල අතර ත්‍රස්තවාදය අවසන් වූ දා සිට පශ්චාත් යුද සමයේදී ජාතිය ගොඩනැගීමේ කාර්යයෙහිලා විශාල කාර්යභාරයක් ඉටු කර ඇත.

දිවයිනේ මුහුදේ නිරන්තර සෝදිසියෙන් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව රුපියල් බිලියන ගණනක් වටිනා මත්ද්‍රව්‍ය සහ වෙනත් නීතිවිරෝධී ද්‍රව්‍ය හඳුනා ගැනීමටත්, නීතිවිරෝධී සංක්‍රමණ උත්සාහයන් ව්‍යර්ථ කිරීමටත් සහ වෙනත් නීතිවිරෝධී ක්‍රියාකාරකම් ව්‍යර්ථ කිරීමටත් සමත් වී ඇත.

ස්වාභාවික විපත් සහ අනෙකුත් හදිසි අවස්ථා වලදී ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා නාවික හමුදාව විශාල සහයක් ලබා දෙන අතර සමුද්‍ර සහ වෙරළ ආරක්‍ෂාව සහ සංරක්ෂණය සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි.

නාවික හමුදාව විසින් සංවර්ධනය කර ස්ථාපනය කරන ලද ප්‍රතිආස්‍රැති ජල පිරිපහදු යන්ත්‍ර මගින් විශේෂයෙන් නිදන්ගත වකුගඩු රෝග බහුලව පවතින රටේ ග්‍රාමීය ප්‍රදේශවල පවුල් දහස් ගණනකට ආරක්ෂිත පානීය ජලය සපයයි.

1937 දී ලංකා නාවික ස්වේච්ඡා බලකාය පිහිටුවන ලද අතර දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලංකා නාවික ස්වේච්ඡා බලකාය ලංකා රාජකීය නාවික ස්වේච්ඡා ඒකකය ලෙස රාජකීය නාවික හමුදාවට එක්කරන ලදි.

1950 දෙසැම්බර් 9 වන දින නාවික හමුදා පනත සම්මත කර රාජකීය ලංකා නාවික හමුදාව පිහිටුවන ලදී. 1972 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වාදීමත් සමඟ රාජකීය ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව ලෙස නම් කරන ලදී.