ජෙනරල් බිපින් රාවත්ගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි දිවයිනෙන් පිටත් වේ

දෙසැම්බර් 10, 2021

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය බදාදා (08) හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් බිපින් රාවත්ගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා අද (දෙසැ 10) උදෑසන නවදිල්ලිය බලා පිටත්ව ගිය බව හමුදා මාධ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි. එම අනතුරින් ජෙනරල් බිපින් රාවත්ගේ බිරිඳ සහ හමුදා නිලධාරීන් ඇතුළු තවත් 11 දෙනෙකු මරණයට පත්විය.

අභාවප්‍රාප්ත ජෙනරල් බිපින් රාවත්ගේ අවසාන කටයුතු දිල්ලි හිදී හමුදා ගෞරව සහිතව සිදු කිරීමට නියමිතය. ජෙනරල් රාවත් සහ ඔහුගේ බිරිඳ වන මධුලිකා රාවත් මහත්මියගේ දේහ කොටස් කම්රාජ් මාර්ග් හි පිහිටි ඔවුන්ගේ නිවසේ සිට ගෙන ඒමෙන් පසුව බ්රාර් චතුරශ්‍රයේ ආදාහනාගාරයේ දී ආදාහනය කරනු ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.