මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 250ක් සමඟ විදේශීය ධීවර යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට

දෙසැම්බර් 11, 2021

ජාත්‍යන්තර මුහුදු සීමාවේදී විදේශීය ධීවර යාත්‍රාවක සිටි විදේශීය සැකකරුවන් 6 දෙනෙකු සමඟ මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.

ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය හා එක්ව නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 900ක් (කිලෝ මීටර් 1665ක් පමණ) දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ දින ගණනාවක් අඛණ්ඩව ආවේක්ෂණය කරමින් මෙම මෙහෙයුම සිදුකර ඇතිබව නාවික හමුදා මාධ්‍ය පවසයි.

අත්අඩංගුවට ගන්නා ලද යාත්‍රාව සහ එම යාත්‍රාවේ සිටි විදෙස් ජාතික සැකකරුවන් මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක ආරක්‍ෂාව යටතේ ගොඩබිම වෙත රැගෙන එමින් පවතින බව එහි සඳහන් වේ.

අත්අඩංගුවට ගත් උර 09ක් තුළ පැකට් 225 ක් ලෙස අසුරන ලද මෙම මත් ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 250ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ.

විදේශීය සැකකරුවන් 06 දෙනා සමඟ එම යාත්‍රාව ගොඩබිමට රැගෙන එමෙන් පසු ඉදිරි කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිත බවද එහි සඳහන් වේ.