මුලතිව් ජනතාවගේ ජිවන තත්වය නගාසිටුවීමට යුද හමුදා සහය

දෙසැම්බර් 15, 2021

මුලතිව් ආරක්ෂක සේනාවට අයත් යුද හමුදා භට පිරිස් විසින් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්වය ඉහළ නැංවීමේ අරමුණින් ප්‍රජා සුභසාධන වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, සිලාවත්ත ප්‍රදේශයේ තාවකාලික නිවසක පදිංචිව සිටි පවුලක් වෙත නව නිවසක් ඉදිකර දුන් බව යුද හමුදා මාධ්‍ය පවසයි.

591 බලසේනාවට අයත් 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් පුද්ගලික පරිත්‍යාගශීලියෙකුගෙන් අරමුදල් දායකත්වය ලබා ගනිමින් මෙම නිවස ඉදිකරන ලදී.

මේ අතර, 591 බලසේනාවේ 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් පෞද්ගලික පරිත්‍යාගශීලියෙකුගේ ආධාර මත වඩ්ඩුවාකල්හි පදිංචි පුනරුත්ථාපනය වූ ආබාධිත, හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු වූ එම් කජන් සඳහා නව නාන කාමරයක් ඉදිකරන ලදී.

592 බලසේනාවේ 23 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් පුතරිකුඩා ග්‍රාමසේවා වසමේ පදිංචි නන්දනී මල්ලිකා මහත්මියගේ අර්ධ වශයෙන් ඉදිකර තිබු නිවස, පෞද්ගලික පරිත්‍යාගශීලියෙකුගේ ප්‍රතිපාදන මත එහි ඉදිකිරීම් සම්පුර්ණ කළ බව යුද හමුදාව පවසයි.

මුල්ලියාවේලි විද්‍යානන්ද ජාතික පාසලේ නිවෙස්වල සිට පාසල් යාමට අපහසුකම් ඇති සිසුන් 8 දෙනෙකුට පෞද්ගලික පරිත්‍යාගශීලීන් පිරිසකගේ අනුග්‍රහයෙන් නව පාපැදි ප්‍රදානය කරන ලද අතර මුලතිව්, නන්දිකඩාල් ප්‍රදේශයේ සිසුන් සඳහා පාසල් උපකරණ කට්ටල 80 ක් බෙදා දෙන ලදී.

59 වන සේනාංකයේ භට පිරිස් විසින් පෞද්ගලික පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් ජලාපවහන අමතර කොටස් තොගයක්, LED බල්බ සහ ලීටර් 1000 ප්ලාස්ටික් ජල ටැංකියක් කෝකිලායි සම්බෝධි විහාරස්ථානය වෙත ලබාදීමට කටයුතු කල බව එහි සඳහන් වේ.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සංජය වනසිංහගේ මගපෙන්වීම යටතේ මෙම සමාජ සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක කළ බව යුද හමුදා මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.