දකුණු සුඩානයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරිහි නියුතු ශ්‍රී ලංකා යුද හමුදා 7 වන කණ්ඩායම සිය රාජකාරි කාලය සම්පූර්ණ කරයි

දෙසැම්බර් 25, 2021

ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය විසින් දකුණු සුඩානයේ බෝර්හි පවත්නාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි 7 වන කණ්ඩායම එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන්හි සිය වසරක කාල සීමාව සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර එහි අණදෙන නිලධාරී වෙත පසුගියදා හමුදා සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී.

ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය භට පිරිස් ඔවුන්ගේ වසරක සේවා කාලය තුළ බාහිර රෝගී අංශයේ රෝගීන් 1395 දෙනෙකුට, වාට්ටු රෝගීන් 171 දෙනෙකුට ප්‍රතිකාර ලබා දීම සහ රෝගීන් 314 දෙනෙකුට දන්ත වෛද්‍ය අංශයේ ප්‍රතිකාර ලබාදීම සිදුකර ඇති අතර ශල්‍යකර්ම 48 ක් සහ ප්‍රතිකාර සඳහා ඉවත් කිරීමේ මෙහෙයුම් 22 ක් සිදු කර ඇත.

7 වන කණ්ඩායමේ අණදෙන නිලධාරී කර්නල් ඩී.ආර්.එස්.ඒ ජයමාන්න වෙත එහි සාමාජිකයින් විසින් පෙළපාලියේදී ආචාරය ලබාදුන් බව යුද හමුදාව සඳහන් කළේය.

එහිදී පැවති භට පිරිස් ඇමතීම අතරතුර, එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය හා ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රමිතීන් පවත්වා ගැනීම, එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලය සමඟ මනා සම්බන්ධීකරණයක් ඇතිව එහි යටිතල පහසුකම් සංවර්ධනය සහ රෝගීන්ගේ ආරක්ෂාව සලසමින් 2 මට්ටමේ රෝහලේ ක්‍රියාකාරීත්වය හොදින් පවත්වාගැනීම සඳහා සියළුම භට පිරිස් ලබාදුන් වටිනා දායකත්වය සහ කැපවීම, අණදෙන නිලධාරීගේ ඇගයීමට ලක් වූ බව, යුද හමුදා මාධ්‍ය වාර්තා කරන ලදී.

Sinhala.