නාවික හමුදාවේ පරිසර ආරක්‍ෂණ වැඩසටහන් අඛණ්ඩව

දෙසැම්බර් 28, 2021

නාවික හමුදා භට පිරිස් විසින් සිදුකරන ලද රුක් රෝපණ වැඩසටහනකදී පානම කලපුව සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල කඩොලාන ඇතුළු පැල 1200ක් පමණ සඳුදා (දෙසැ. 27) දින රෝපණය කරන ලදි.

පානම කලපු තීරයේ කඩොලාන පැල 500ක් පමණ ද, තිඹිරි, මී, කුඹුක්, කෝන් සහ නා පැළ 700ක් පමණ පානම ප්‍රදේශයේ ගොඩබිම් ආශ්‍රිතව ද රෝපණය කර ඇති බව නාවික හමුදා මාධ්‍ය වාර්තා පවසයි.

නාවික හමුදාවේ පරිසර සංරක්‍ෂණ වැඩසටහනේ කොටසක් ලෙස ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායකගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.

මේ අතර, තලෙයි මන්නාරම නාවික හමුදා භට පිරිස් විසින් ඉරිදා (දෙසැ. 26) දින ඌරුමලේ සිට තලෙයි මන්නාරම දක්වා වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. වෙරළ තීරයේ එක්රැස් වන ප්ලාස්ටික් සහ ඝන අපද්‍රව්‍ය ඉවත් කර වෙරළබඩ හා සාගර පරිසර පද්ධතිය රැක ගැනිමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බව එහි සඳහන් වේ.

උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්නගේ උපදෙස් මත මෙම වැඩසටහන දියත් කර ඇත.

කොවිඩ් 19 සඳහා පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.