දකුණු සුඩානයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරි සඳහා 8 වන ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම දිවයිනෙන් පිටත් වේ

දෙසැම්බර් 29, 2021

දකුණු සුඩානයේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය විසින් පවත්වාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි සාමසාධක රාජකාරී සඳහා පිටත්ව යාමට නියමිත 8 වන ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම අද (දෙසැම්බර් 29) දින දිවයිනෙන් පිටත්ව ගියේය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් අද දින පිටත්ව ගිය, නිලධාරීන් 11 දෙනෙකු සහ සෙසු නිලයින් 22 දෙනෙකුගෙන් යුත් එහි පළමු කණ්ඩායම වෙත සිය සුභාශිංසන පිරිනැමීය.

දැනට එහි සේවයේ යෙදී සිටින කණ්ඩායම ආපසු මෙරටට පැමිණීමෙන් පසු 2022 ජනවාරි මස 31 වන දින 8 වන කණ්ඩායමේ ඉතිරි පිරිස පිටත්ව යාමට නියමිත බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

දකුණු සුඩානය බලා පිටත්ව යන 8 වන වෛද්‍ය කණ්ඩායමට යුද හමුදා සාමාජිකයින් 66 දෙනෙකු ඇතුළත් වන අතර ලුතිනන් කර්නල් එන්.එම් නිෆ්ලාර් එහි අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන බව යුද හමුදාව පවසයි.

මෙම කණ්ඩායමට වාට්ටු භාරහෙදියන්, හෙදියන්, සත්කාර හෙදියන් (නාරිවේදය), ශල්‍යාගාර තාක්‍ෂණ ශිල්පීන්, භෞත චිකිත්සකවේදීන්, විකිරණවේදීන්, විකිරණ තාක්‍ෂණ ශිල්පීන්, දන්ත සහායකයන්, දන්ත කාර්මිකයන්, වෛද්‍ය සහායකින්, ෆාමසි කාර්මිකයන්, විද්‍යාගාර කාර්මිකයන්, විද්‍යාගාර තාක්‍ෂණ විද්‍යාඥයින්, සන්නිවේදන තාක්‍ෂණීක ශිල්පීන්, සනීපාරක්‍ෂක සහයකයන්, පරිපාලන ලිපිකරුවන්, සූපවේදීන්, ගිලන් රථ රියදුරන්, සනීපාරක්‍ෂක රාජකාරින්හි නියුතු පුද්ගලයින් සහ මෘත ශරීරාගාර සහායකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය, ශ්‍රී ලංකා සංඥා බලකාය, ඉංජිනේරු සේවා බලකාය, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සෙබළුන් ඇතුලත් වන බව යුද හමුදා ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් විකුම් ලියනගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.