මුලතිව් ළමා නිවාස සඳහා යුද හමුදාවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක්

ජනවාරී 06, 2022

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් 'Loved Charity' සංවිධානයේ අනුග්‍රහය ඇතිව මුලතිව් හි පිහිටි ළමා නිවාස සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ පරිත්‍යාග කිරීම, මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සංජය වනසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකරන ලදී.

මුලතිව් ආරක්ෂක සේනාවට අයත් 59 වන සේනාංකය විසින් සංවිධානය කරන ලද මෙම ප්‍රජා සුභසාදන ව්‍යාපෘතිය මගින් භාරතී ළමා නිවාසයේ සහ ලදනි ළමා නිවාසයේ ළමුන් 115 කට වැඩි පිරිසකට සෙත සැලසෙන බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පරිත්‍යාගයට විදුලි උපකරණ, ඇඳුම් සහ වියළි සලාක පාර්සල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් ඇතුලත් වූ බව යුද හමුදාව ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහා 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.ඩී. සූරියබණ්ඩාර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ‘Loved Charity’ සංවිධානයේ කළමණාකාර පසිඳු මහතා ද සහභාගි වූහ.