කුට්ටිගල අක්කර 10ක යුද හමුදාව කජු වගා කරයි

ජනවාරී 07, 2022

විදේශ විනිමය ඉපැයීම සඳහා දේශීය මට්ටමින් අපනයන බෝග ප්‍රවර්ධනය කිරීමේ රජයේ ප්‍රයත්නයට සම්බන්ධ වෙමින් කුට්ටිගල පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකායේ කඳවුරු පරිශ්‍රය තුළ කජු පැළ 700 ක් සිටුවීමේ ව්‍යාපෘතියක් දියත් කරන ලදි.

ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකාධිපති බ්‍රිගේඩියර් පාලිත හේවාවසම්ගේ උපදෙස් මත ව්‍යාපෘතියේ සමාරම්භක අදියරේ දී අක්කර 3ක භූමි ප්‍රමාණයක පැළ 210ක් රෝපණය කරන ලද අතර, ඉදිරි දින කිහිපය තුළ තවත් අක්කර 7ක වගාවන් සිදුකරන බව ශ්‍රී ලංකා යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා කජු සංස්ථාව විසින් අනුග්‍රහය දක්වන ලද මෙම ව්‍යාපෘතිය පළවන ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් සී. එස්. දේමුණි සහ නිලධාරී අණදෙන (කුට්ටිගල) මේජර් කේ.ඩී. ගොරකාපිටිය විසින් අධීක්‍ෂණය කරනු ලබන බව යුද හමුදාව විසින් තහවුරු කරන ලදි.