පැය 18ක් මුහුදේ ගසාගෙන ගිය ධීවරයෙකු නාවික හමුදාව බේරා ගනී

ජනවාරී 10, 2022

බහුදින ධීවර යාත්‍රාවකින් මුහුදට වැටී සිටි ධීවරයෙකු බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (ජනවාරි 09) සමත් විය.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්, කොළඹ සාගරික මුදවා ගැනීම් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සහය ඇතිව මෙම මෙහෙයුම සිදුකළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ඒ අනුව මෙහෙයුම සඳහා පිටත්ව ගිය නාවික හමුදා යත්‍රාව මගින් මුහුදේ අතරමං වූ ධීවරයා බේරාගෙන මුහුදේදී මූලික ප්‍රථමාධාර ලබාදීමෙන් පසු ගොඩබිමට ගෙනැවිත් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමුකර ඇත.

වාර්තා වන අන්දමට මෙම ධීවරයා පැය 18කට වැඩි කාලයක් ජලයේ රැඳී සිට ඇත.

ගාල්ල ධීවර වරායෙන් ධීවරයින් හය දෙනෙක් සමඟ බහු දින ධීවර යාත්‍රාවකින් පසුගිය සිකුරාදා (07) දින ධීවර කටයුතු සඳහා ඔහු පිටත්ව ගොස් ඇති අතර, පසු දින තංගල්ල සිට නාවික සැතපුම් 08ක් පමණ දුරින් වූ දකුණු මුහුදු ප්‍රදේශයේ දී මුහුදට වැටී අතුරුදහන් වී ඇත.

මේ සම්බන්ධයෙන් එම මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු සිදුකරන අනෙකුත් ධීවර යාත්‍රාවන් සහ එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරන නෞකාවන් දැනුවත් කිරීමට ද කටයුතු කළ බව නාවික හමුදාව වැඩිදුරටත් පවසන ලදි.