ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුරට සමඟාමීව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ජනවාරී 11, 2022

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගියදා (ජනවාරි 09) උස්වැටකෙයියාව ප්‍රදේශයේදී පවත්වන ලදි. ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික කඳවුරට සමගාමීව මෙම පරිසර ආරක්ෂණ පිරිසිදු කිරීමේ වැඩසටහන පැවැත්වුණු බව නාවික හමුදාව පවසයි.

2022 ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික කඳවුරට සහභාගී වන නාවික පුද්ගලයින් විශාල පිරිසක් උස්වැටකෙයියාව වෙරළ තීරයේ ප්ලාස්ටික් සහ අනෙකුත් ඝණ අපද්‍රව්‍ය මුහුදට ඇතුළු නොවන ලෙස පිරිසිදු කිරීමේ මෙම සමාජ සත්කාර වැඩසටහනට සහභාගී වූ බව එහි සඳහන් වේ.

ස්වේච්ඡා නාවික හමුදාව සිවිල් ක්ෂේත්‍රය තුල ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධානතම ඒකකය වන අතර, ජාතික හදිසි අවශ්‍යතාවලදී සහ විපත්වලදී අවශ්‍ය විශේෂඥතාව සහ පිරිස් බලය ලබාදීමට සූදානමින් නිරන්තර නාවික පුහුණුවක් ඔවුන් විසින් සිදු කරයි.

ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානය විසින් ස්වේච්ඡා නාවික හමුදා සාමාජිකයින්ගේ දැනුම සහ කුසලතා යාවත්කාලීන කිරීම සඳහා වාර්ෂික සහ සති අන්ත පුහුණු වැඩසටහන් පවත්වයි.

ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් සේනක සෙනවිරත්න ගේ මගපෙන්වීම යටතේ නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම වැඩසටහන පවත්වා ඇත.