හිටපු ගුවන් හමුදාපති දිවංගත එයාර් චීෆ් මාර්ෂල් පී එච් මෙන්ඩිස්ගේ
අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරව සහිතව සිදුකෙරේ

ජනවාරී 20, 2022

අභාවප්‍රාප්ත වූ ශ්‍රී ලංකාවේ හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වූ එයාර් චීෆ් මාර්ෂල් පී එච් මෙන්ඩිස්ගේ (විශ්‍රාමික) දේහය පිලිබඳ අවසන් කටයුතු බදාදා (ජනවාරි 19) දින පූර්ණ හමුදා ගෞරව සහිතව දෙහිවල - ගල්කිස්සේ පිහිටි ‘නිසල සෙවන’ සුසාන භූමියේදී සිදුකරන ලදි.

එයාර් චීෆ් මාර්ෂල් පත්මන් හරිප්‍රසාද මෙන්ඩිස් (විශ්‍රාමික) ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදාපතිවරයා වේ. 1933 ජනවාරි 24 වැනි දින උපත ලද ඔහු 1951 අගෝස්තු මාසයේදී අලුතින් පිහිටුවන ලද රාජකීය ලංකා ගුවන් හමුදාව වෙත පස්වන ආධුනිකයා ලෙස සම්බන්ධ වී බ්‍රිතාන්‍යයේ පුහුණුව ලබා ඇත. ඔහු සුදුසුකම් ලත් පියාසර උපදේශකයෙකු ලෙස පුහුණුව ලැබූ පළමු ලාංකිකයාද වේ.

ඔහු 1971 ජනවාරි 01 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාවේ 4 වන ගුවන් හමුදාපති බවට පත් වූ අතර, රාජකීය ලංකා ගුවන් හමුදාවට අණ දුන් පළමු ශ්‍රී ලාංකික නිලධාරියාද විය. පසුව රට ජනරජයක් බවට පත් වී රාජකීය ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලෙස හැඳින්වීමත් සමඟ එයාර් චීෆ් මාර්ෂල් පී එච් මෙන්ඩිස් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදාපතිවරයා විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බදාදා පෙරවරුවේ අභාවප්‍රාප්ත එයාර් චීෆ් මාර්ෂල් මෙන්ඩිස් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය. ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරල් ජගත් අල්විස් ද අභාවප්‍රාප්ත ශ්‍රී ලංකා හිටපු ගුවන් හමුදාපතිවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වූහ.