දූෂණ හා විෂමාචාර වැළැක්වීමට බන්ධනාගාර සඳහා ‘SPEAT Force’ හඳුන්වා දෙනවා – ආරක්‍ෂක ලේකම්

ජනවාරී 26, 2022

•    සාමාජිකයින් 194 දෙනෙකුගෙන් යුත් ‘SPEAT Force’ පළමු කණ්ඩායම බන්ධනාගාර සේවයට එක් වේ
•    විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම්වරයා සහභාගී වේ

බන්ධනාගාරවල දූෂණ හා විෂමාචාර වැළැක්වීමට සහ එවැනි ගැටලු වඩාත් විනිවිදභාවයකින් පාලනය කිරීම සඳහා ‘ශ්‍රී ලංකා බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය (SPEAT Force) හඳුන්වා දුන් බව සුරක්‍ෂිත රටක්, විනයගරුක, ගුණගරුක සහ නීතිගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා අද (ජනවාරි 26) පවසා සිටියේය.

බන්ධනාගාර දෙපාර්තමේන්තු ක්‍රියා පටිපාටියෙහි නව පෙරළියක් සිදුකරමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රමුඛ වත්මන් රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව සුරක්‍ෂිත රටක්, විනයගරුක, ගුණගරුක සහ නීතිගරුක සමාජයක් බිහිකිරීමේ උදාරතර අරමුණින් යුතුව බන්ධනාගාර සිදුවන සියලුම දූෂණ හා විෂමාචාරයන් වඩාත් විනිවිදභාවයකින් පාලනය කිරීමේ අරමුණින් බන්ධනාගාර බුද්ධි ඒකකය ප්‍රතිසංවිධානය කර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය පිහිටුවන ලද බව ජෙනරල් ගුණරත්න පැවසීය.

අද අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ විශෝධන පිළිබඳ පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ පැවති ‘SPEAT Force’ ප්‍රථම විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජෙනරල් ගුණරත්න මහතා සහභාගී විය.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරල් තුෂාර උපුල්දෙණිය මහතා විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම ස්ථානයට පැමිණි ජෙනරල් ගුණරත්න මහතා ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදි.

‘SPEAT Force’ වෙත නව සාමාජිකයින් 194ක් අන්තර්ග්‍රහණය කරගැනීම සඳහා සංවිධානය කර තිබූ විසිර යාමේ පෙළපාලියේදී ආරක්‍ෂක ලේකම්වරයා වෙත සම්මාන ආචාර මුරයක් පුද කරන ලදි.

මෙම බලකාය වෙත සේවා මුක්ත භටයින් 500 දෙනෙකු බඳවා ගැනීමට නියමිත බවත්, පළමු අදියර යටතේ බඳවාගනු ලැබූ 194 දෙනා අද දින විසිර යන බවත්, උත්සව සභාව ඇමතූ ප්‍රධාන ආරාධිත අමුත්තා පවසා සිටියේය. තවද ත්‍රිවිධ හමුදාවන්ගෙන් නීත්‍යානුකූලව ඉවත්වූ නොකැළැල් සේවාවක් ඇති සේවා මුක්ත භඨයින්ගෙන් මෙම බලකාය සමන්විත වන බවත් ඔහු පවසා සිටියේය.

දූෂණය සහ විෂමාචාර වැළැක්වීමට සහ වඩාත් විනිවිදභාවයෙන් යුත් ප්‍රවේශයකින් එවැනි ගැටළු පාලනය කිරීම මෙම පියවරේ අරමුණ බව ආරක්‍ෂක ලේකම් තවදුරටත් පැහැදිලි කලේය.

සහජ විනය, ධෛර්යය සහ කැපවීම සහිත ඔබ සියලු දෙනා නිසි පුහුණුව ලබා ඇති බැවින් බන්ධනාගාර රැඳවියන් සමඟ කටයුතු කිරීමේදී ස්වයං විනයක් ඇතිව මානුෂීය ප්‍රවේශයකින් තමන්ගේ රාජකාරිය ඉටුකරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

මෙම රැඳවියන් නැවත සමාජයට මුදාහැරීමට පෙර, ඔවුන් සමාජයට වැඩදායී ප්‍රයෝජනවත් පුද්ගලයන් බවට පත්කිරීම අද දින විසිර යන්නන්ගේ වගකීමක් බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

ආරක්‍ෂක ලේකම්වරයා වෙත SPEAT බළකායේ නිල ලාංඡන පිරිනැමීම, සරඹ සහ කැරලි මර්දන සංදර්ශන, පෙරහැර පැවැත්වීම සහ මාස 4ක පුහුණුව තුළ විශිෂ්ටයන් සඳහා සම්මාන පිරිනැමීම මෙම ආකර්ෂණීය උත්සවයේදී සිදුවිය.

ජාතික බුද්ධි ප්‍රධානි මේජර් ජෙනරල් රුවන් කුලතුංග (විශ්‍රාමික), අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජෙනරල් තුසිත උඩුවර, බන්ධනාගාර කොමසාරිස් (පරිපාලන, පුනරුත්ථාපන හා නිපුණතා සංවර්ධන) සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක, බන්ධනාගාර කොමසාරිස් (සැපයුම් හා සේවා) සුනිල් කොඩිතුවක්කු, බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත හා සංවර්ධන) මලින් ලියනගේ, බන්ධනාගාර (අධ්‍යක්‍ෂ - පුහුණු) සේනක පල්ලේතැන්න, SPEAT බළකායේ අණදෙන නිලධාරී සහකාර බන්ධනාගාර අධිකාරී ප්‍රසාද් ප්‍රේමතිලක, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිතයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.