රටට සෙත්පතා පැවති ජය පිරිත් සජ්ඣායනාව උදෑසන සංඝගත දක්ෂිනාවෙන් පසු අවසන් වේ

ජනවාරී 27, 2022

රටට, ජනතාවට, මියගිය රණවිරුවන්ට, ආබාධිත රණවිරුවන්ට ආශිර්වාද පැතීමට මෙන්ම කොවිඩ් වසංගතයෙන් රට ආරක්‍ෂා කර ගැනීමට ආශීර්වාද පතමින් අතිපූජනීය මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ (BMICH) ඊයේ (26) සවස ආරම්භ කල ජය පිරිත් සජ්ඣායනාව අද (27) පෙරවරුවේ පැවති දානමය පිංකමෙන් පසුව අවසන් විය.

ජය පිරිත අවසන චාරිත්‍රානුකූලව අද පෙරවරුවේ දානමය පුණ්‍යකර්මය සිදුකෙරුණු අතර, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහා සංඝරත්නය උදෙසා දානය පිරිනැමීම ද සිදුවිය.

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ අධීක්‍ෂණය යටතේ ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද මෙම පුණ්‍යෙත්සවය සාර්ථකව පැවැත්විණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, ජනාධිපති ආර්යා අයෝමා රාජපක්‍ෂ, මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපතිතුමන්, නාවික හා ගුවන් හමුදාපතිවරුන්, පොලිස්පති, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිතයින් ආගමික ආශිර්වාද ලබාගැනීම සඳහා මෙම පිංකමට සහභාගී විය.

හිටපු ආරක්‍ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංකල්පයකට අනුව වාර්ෂිකව පවත්වනු ලබන ජය පිරිත් සජ්ඣායනාව මාතෘභූමියෙන් කුරිරු ත්‍රස්‌තවාදය පරාජය කිරීම උදෙසා ත්‍රිවිධ හමුදාවට ආශිර්වාද කිරීම සඳහා 2008 වසරේ දී ආරම්භ විය.

සධාතුක කරඬුව හා පිරුවානා පොත් වහන්සේ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන් විසින් වැඩම කරවු අතර, ජනාධිපතිතුමා සධාතුක කරඬුව පිරිත් මණ්ඩපයෙහි තැන්පත් කර, ගිලන්පස සහ අධිෂ්ඨාන පූජාව සිදුකර, මහා සංඝරත්නයට පිරිත සඳහා ආරධනා කරනු ලැබීය.

මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි, රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල, අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස යන ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා සිදුකිරීමෙන් අනතුරුව ජය පිරිත් සඡ්ඣායනය ආරම්භ විය.

එදා සටන් පෙරමුණේ සිටි රණවිරුවන්ට ජය පිරිතෙහි ආගමික ආශිර්වාදය අපමණ ධෛර්යයක් ලබාදුන් බවද මහා සංඝරත්නය අනුශාසනා දේශනාවේදී සිහිපත් කළහ.

මෙම අවස්ථාවට මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ආබාධිත රණවිරුවන් ද එක්ව සිටියහ.

වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා නියමිත සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුකූලව සමස්ත ආගමිකව වැඩසටහන පැවැත්විණි.

ජනාධිපති ලේකම් කාර්යාලය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මෙම පුණ්‍යකර්මය සඳහා දායකත්වය ලබාදෙන ලදි.