නයිජීරියානු ආරක්‍ෂක උපදේශක ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් හමුවෙයි

පෙබරවාරි 02, 2022

ශ්‍රී ලංකාව සඳහා වන නයිජීරියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමදෝරු ඇන්තනි වික්ටර් කුජෝ අද (පෙබ 2) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

දෙරට අතර ආරක්‍ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ මාර්ග ඇතුළු ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව මෙහිදී ආරක්‍ෂක ලේකම්වරයා සහ නයිජීරියානු ආරක්‍ෂක උපදේශකවරයා විසින් සාකච්ඡා කරන ලදී.

මෙම හමුවේදී ආරක්‍ෂක ලේකම්වරයා නයිජීරියානු ආරක්‍ෂක අංශයට ශ‍්‍රී ලංකාව වෙතින් පුහුණු සහය ලබාදීම පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කළේය.

කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වන සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම හමුව පැවැත්වූ අතර එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර ද සහභාගී විය.

ශ්‍රී ලංකාව සඳහා වන නයිජීරියා ෆෙඩරල් ජනරජයේ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කාර්යාලය දැනට ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටා ඇත.

නයිජීරියානු ආරක්‍ෂක උපදේශකවරයා ශ්‍රී ලංකාවේ නිදහස් දින සැමරුම් උළෙල සඳහා සහභාගී විමට නියමිතය.