යුද හමුදාවෙන් යාපනය ශික්ෂණ රෝහලට ලේ පරිත්‍යාගයක්

පෙබරවාරි 05, 2022

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ භටපිරිස් විසින් බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන් සඳහා අවශ්‍ය රුධිර සංචිත පවත්වාගෙන යාම සඳහා රෝහලෙන් කරන ලද ඉල්ලීමකට අනුව යාපනය ශික්ෂණ රෝහලේ රුධිර බැංකුව වෙත ලේ පරිත්‍යාග කරන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපාගේ උපදෙස් පරිදි 552 බලසේනාව විසින් යාපනය අයියකච්චි හි දී සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා 120 කට අධික යුද හමුදා භට පිරිසක් සහභාගි වූ බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

කොවිඩ්-19 වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා නියමිත සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුකූලව යාපනය ශික්ෂණ රෝහල සමඟ සමීප සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ බව යුද හමුදාව පවසයි.