කිලිනොච්චිය ප්‍රදේශයේ දිළිඳු පවුල් සඳහා වියළි සලාක මලු

පෙබරවාරි 10, 2022

ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් පසුගිය දා කිලිනොච්චිය ප්‍රදේශයේ දිළිඳු පවුල් වෙත වියළි සලාක ඇසුරුම් තොගයක් බෙදා දෙන ලදී.ඒ අනුව, පසුගිය සති අන්තයේ (පෙබරවාරි 5) කන්නන් දේවස්ථාන පරිශ්‍රයේ පැවති වැඩසටහනකදී තෝරාගත් පවුල් 42 කට වියළි සලාක මල්ලක්  ලබා දීම සිදුවූ බව යුද හමුදා මාධ්‍ය වාර්තා කරයි.

රුපියල් 2750.00 පමණ වටිනා මෙම සලාක මල්ලක බත්, පරිප්පු, කිරිපිටි, ටින්කළ ආහාර ආදිය අඩංගු අතර දේශීය පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහය ඇතිව මෙම ආහාර ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කර ඇත.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සංජය වනසිංහ සහ 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධනගේ මගපෙන්වීම යටතේ මෙම සමාජ සුබසාධන වැඩසටහන ක්‍රියාත්මක කරන ලද බව එහි සඳහන් වේ.

කිලිනගර්, ඉලමන්තලාරු සහ පනික්කුලම් ග්‍රාමසේවා වසමේ ග්‍රාම නිලධාරීන් (රාජ්‍ය නිලධාරීන්) සමඟ සාකච්ඡා කර ප්‍රතිලාභීන් තෝරා ගත් බව යුද හමුදා ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.