ශ්‍රී ලංකා භටයින්ගේ විශිෂ්ට සේවය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිතගේ පැසසුමට

පෙබරවාරි 14, 2022

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත සහ මාලි හි එක්සත් ජාතීන්ගේ සාම සාධක  මෙහෙයුමේ (MINUSMA-මිනුස්මා) ප්‍රධානී එල්-ගසීම් වේන් මහතා ගාවෝහි පැවති ශ්‍රී ලංකා යුද හමුදාවේ සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායමේ පදක්කම් පෙළපාලියට පසුගිය  සෙනසුරාදා (පෙබ 12) සහභාගී විය.

මාලි රාජ්‍යයේ සිය රාජකාරි අවසන් කර ආපසු සිය රට බලා යාමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ ආචාරය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිතයා වෙත ලබා දුන් බව යුද හමුදාව ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ මිනුස්මා මෙහෙයුම දැනට ඇති සාම සාධක මෙහෙයුම් අතරින් දිගුම  හා දුෂ්කරම මාර්ග ඔස්සේ  කඳවුරු සඳහා අවශ්‍ය සැපයුම් ලබා දෙන බවත් ඒ සඳහා  සංග්‍රාමික ආරක්‍ෂක රථ සේවයේ යොදවන එකම මෙහෙයුම මිනුස්මා බවත් මිනුස්මාහි ප්‍රධානියා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටි බව යුද හමුදා වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, මිනුස්මා  නැගෙනහිර ප්‍රදේශයේ අණදෙන නිලධාරී ස්ටෙෆාන් ජේ ඇන්ඩර්සන්, එල්-ගසිම් වේන් මහතාට පිළිතුරු ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින්, ශ්‍රී ලංකා යුද හමුදාවේ සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩායම ඉතා උසස් වෘත්තීය නිපුණත්වයෙන් යුත් භටපිරිස් වලින්වි සමන්විත විශිෂ්ට කණ්ඩායමක් බවත් ඔවුන් පිළිබඳව තමන් ආඩම්බර වන බවත් ප්‍රකාශ කර ඇත.

නිලධාරීන් 20ක් සහ සෙසු නිලයන් 223ක් ඇතුළත් ශ්‍රී ලංකාවේ 3 වැනි සාම සාධක කණ්ඩායම දැනට මාලි රාජ්‍යයේ රථ පෙළ ආරක්‍ෂක රාජකාරිවල නිරත වේ.