නව හමුදා හෙදියන් 50දෙනෙක් රෝහල් සේවයට එක්වේ

පෙබරවාරි 17, 2022

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පුහුණු කරන ලද හෙද හෙදියන් 50 දෙනෙකු, අනුරාධපුර හමුදා හෙද විදුහලේ තුන් අවුරුදු හෙද වෘත්තීය ඩිප්ලෝමා පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් පසුගියදා අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයේදී ඔවුන්ගේ නිල හෙද හිස් වැසුම් පළඳවන ලදී.

යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් කේ.පී.එන්. පතිරණ මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බඳවා ගන්නා ලද හෙද සිසුන් සඳහා රජයේ හෙද විදුහල් වල, අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ යුද හමුදා අධ්‍යයන කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් අදාල පුහුණු කටයුතු අනුරාධපුර හමුදා හෙද විදුහලේදී ලබා ඇති බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන පළමු වසර විභාගය සාර්ථකව නිම කිරීමෙන් පසු ශිෂ්‍ය හෙද හෙදියන් වෙත වෘත්තීය හිස් වැසුම් පළඳවන අතර අනතුරුව තම සේවය සඳහා දිවුරුම් දීමට සුදුසුකම් ලබන බව යුද හමුදාව පවසයි.

හමුදා හෙද විදුහල 2001 වර්ෂයේදී ආරම්භ කරන ලද අතර එය සෞඛ්‍ය අමාත්‍යාංශය, යුද හමුදා පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලය, යුද හමුදා පුහුණු අණසක (ARTRAC), යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය සහ යුද හමුදා වෛද්‍ය බළකායේ අධීක්ෂණය යටතේ මනා සුදුසුකම් ලත් විනයගරුක හමුදා හෙද නිලධාරීන් සේවයට එක් කරනු ලබන බව යුද හමුදාව වැඩිදුරටත් පැවසීය.

අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්. සී. ඩී. ආරියරත්න ඇතුළු රාජ්‍ය නිලධාරීන්, අනුරාධපුර ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ, හමුදා හෙද විදුහලේ විදුහල්පති, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ හෙද උපාධිධාරීන්ගේ දෙමාපියන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවති මෙම උත්සවයට සහභාගි විය.