දීඝවාපි පුදබිම වෙත සර්වඥ ධාතූන් වහන්සේලා සහ
චූඩා මාණික්‍ය වැඩම කරවීමේ පුණ්‍යෙත්සවය

පෙබරවාරි 24, 2022

බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ සහ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ අපවත්වී වදාල පූජ්‍යපාද දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ සිවුවන වර්ෂ පූර්ණ ගුණානුස්මරණ පිංකම වෙනුවෙන් සර්වඥ ධාතූන් වහන්සේලා සහ දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ චූඩා මාණික්‍යය රථ පෙරහැරකින් වැඩම කරවා දීඝවාපිය පුදබිමේ තැන්පත් කිරීමේ පිංකම් මාලාව මාර්තු 02 සිට මාර්තු 06 දක්වා පැවැත්වේ.

සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍ය රැගත් රථ පෙරහැර මාර්තු 02 දින කොළඹ, ශ්‍රී සම්බෝධි විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කර එදින දහවල පස්යාල, මුරුතවෙල ධම්මචක්කාරාම විහාරස්ථානයට ලඟාවීමට නියමිතය. දහවල් බුද්ධ පූජාවෙන් පසුව නැවත ගමන් අරඹා එදින රාත්‍රියේ මහනුවර ශ්‍රී දළදා මාළිගය පරිශ්‍රයෙන් ගමන් අවසාන කරයි. පසුදින (මාර්තු 03) ගමන් අරඹන රථ පෙරහැර තෙල්දෙණිය රඹුක්වැල්ල පුරාණ රජමහා විහාරය වෙත පැමිණ දහවල් බුද්ධ පූජාවෙන් පසු ගමන් අරඹා මහියංගණය රජමහා විහාරය වෙත පැමිණීමෙන් පසුව ඖෂධ පූජාවක් පැවැත්වේ. මාර්තු 04 දින කිරි ආහාර හා පිරිකර පූජාවෙන් පසුව දහවල් බුද්ධ පූජාව සඳහා අරන්තලාව භික්‍ෂු පුහුණු මධ්‍යස්ථානය වෙත පැමිණෙන රථ පෙරහැර එදින සවස දීඝවාපිය පුදබිම වෙත පැමිණීමට නියමිතය.

දීඝවාපිය පුද බිමට වැඩමවීමෙන් පසුව සර්වඥ ධාතූන් වහන්සේලා සහ මහා සංඝරත්නය උදෙසා සිදුකරන පූජාවන් සහ ධර්ම දේශනා වැඩසටහන් ආරම්භ වන අතර, මාර්තු මස 06 දින උදෑසන 06.30 දක්වා එම වැඩසටහන් පැවැත්වේ. උදෑසන 09:30 ට කරඬු වහන්සේලා වැඩම කරවා චෛත්‍ය රාජයානන් වහන්සේ මත තැන්පත් කිරීම මහා සංඝරත්නයේ ප්‍රධාත්වයෙන් සහ ආරක්‍ෂක ලේකම්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරේ. ඉන් පසුව මහා සංඝරත්නය උදෙසා දහවල් මහා සංඝගත දක්‍ෂිණාවක් සිදුකර මෙම පිංකම අවසන් කිරීමට කටයුතු සම්පාදනය කර ඇත.