සයුරළ නෞකාව ඉන්දියාවේ මිලාන් - 2022 නාවික අභ්‍යාසයට සහභාගී වේ

මාර්තු 07, 2022

•    ‘SLINEX’ ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය සඳහා ද සහභාගී වනු ඇත

ශ්‍රී ලංකා නාවික නෞකා “සයුරල” නෞකාව පසුගියදා ඉන්දීය නාවික හමුදාව විසින් පවත්වන ලද මිලාන් - 2022 බහුපාර්ශ්වික නාවික අභ්‍යාසය සඳහා සහභාගී විය. ඉන්දියානු නාවික හමුදාව විසින් 11 වන වරටත් පවත්වන ලද මෙම අභ්‍යාසය, මෙවර ඉන්දියාවේ විසාකාපට්නම් වරාය සහ නැගෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් පෙබරවාරි මස 25 වන දින සිට මාර්තු මස 04 වන දින දක්වා පැවැති බව නාවික හමුදා මාධ්‍ය පවසයි.

කලාපීය හා කලාපීය නොවන රාජ්‍යන් රැසක නාවික හමුදාවන් සහ සමුද්‍රීය පාර්ශ්වකරුවන් මෙම අභ්‍යාසය සඳහා සහභාගී වී ඇති බව එහි සඳහන් වේ.

අධියර දෙකක් ලෙස පැවති මෙම අභ්‍යාසයේ, වරාය අධියර පෙබරවාරි 25 සිට 28 දක්වා විසාකාපට්නම් වරායෙහි දී පැවැති අතර මුහුදු අධියර, මාර්තු 01 සිට 04 දක්වා නැගෙනහිර ඉන්දීය මුහුදු තීරයේදී පැවැත්වුණු බව එහි සඳහන් වේ.

මෙම අභ්‍යාසයේදී, ශ්‍රී ලංකා දකුණු නාවික විධානය භාර අඥාපති රියර් අද්මිරාල් සජිත් ගමගේ සහ ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේ අණදෙන නිලධාරි කපිතාන් ජයන්ත බණ්ඩාර, ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් හමුවිය. එහිදී ඉන්දීය නාවික හමුදා ප්‍රධානී විසින් ඔවුන්ව සුහදව පිළිගැනීමෙන් අනතුරුව, ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් බවද බව එහි සඳහන් වේ.

මිලාන් - 2022 බහුපාර්ශවික නාවික අභ්‍යාසයේ වරාය අධියරේහි එක් ප්‍රධාන අංගයක් ලෙස “ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය” පැවති අතර අභ්‍යාසය සඳහා සහභාගී වූ රටවල් වල සංස්කෘතින් විදහා දැක්වමින් සංවිධානය කර තිබූ ජාත්‍යන්තර නගර පෙළපාළිය සඳහා සහභාගී වීමට මෙන්ම, ආහාර ප්‍රදර්ශණය සඳහා ප්‍රදර්ශණ කුටියක් ඉදිරිපත් කිරීමට ද සයුරළ නෞකාවේ නැව් මුළුව විසින් කටයුතු කරන ලදී. ශ්‍රී ලංකා නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සහ නර්ථන කණ්ඩායමේ විවිධ සංස්කෘතික අංගයන්ද පැවැත්විණි.

මුහුදු අධියර, නාවික හමුදාවන් අතර අන්තර් ක්‍රියාකාරිත්වය හා සමුද්‍රීය සහයෝගිතාවය වර්ධනය කිරීම මෙන්ම දැනුම ‍හුවමාරු කර ගැනීම අරමුණු කර ගනිමින්, සමුද්‍රීය මෙහෙයුම්හි ත්‍රිවිධ මානයන් ආවරණය වන පරිදි උසස් හා සංකිර්ණ නාවික අභ්‍යාසයන්ගෙන් සමන්විත වූ අතර නෞකා සංග්‍රාමික පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, වෙඩි තැබීමේ අභ්‍යාස, දියයට සංග්‍රාමික අභ්‍යාස, හෙලිකොප්ටර් යානා නෞකා මතට ගොඩබැස්සවීම හා සංකිර්ණ නාවික මෙහෙයුම් සමාකරණය වැනි විවිධ අභ්‍යාසයන් සිදුකල බව එහි සඳහන් වේ.

තවද, මිලාන් - 2022 බහුපාර්ශවික නාවික අභ්‍යාසයෙන් අනතුරුව, අද (මාර්තු 7) සිට මාර්තු 10 දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර වාර්ශිකව පැවැත්වෙන ‘SLINEX’ ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය සඳහා ද ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ‘සයුරළ’ නෞකාව සහභාගී වීම‍ට නියමිතව බව එහි වැඩිදුරටත් සඳහන් වේ.