වැසි සහිත කාලගුණය තවදුරටත් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි

අප්‍රේල් 22, 2022

අද (අප්‍රේල් 22) දහවල් වන විට දිවයින පුරා පවතින වැසි තත්ත්වය වැඩි වන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ සඳහන් වේ.

අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බව එහි සඳහන් වේ.

මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි අතර තවත් ස්ථාන කිහිපයක මිලිමීටර් 50ට වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැක.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළං නිරිත දෙසින් හමන අතර මාතර සිට හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 20-30ත් අතර වන අතර එය විටින් විට පැ.කි.මී.35-40 දක්වා වැඩිවිය හැක. මාතර සිට හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට උපදෙස් ලබා දේ.