ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත රණවිරු අනුස්මරණ දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සැමරුම් උත්සවයක්

අප්‍රේල් 26, 2022

ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත ඒකාබද්ධ යුද්ධ හමුදාවන්හි (ANZAC) 107 වන සංවත්සර සැමරුම ඊයේ (අප්‍රේල් 25) ‘Australia House’ හිදී පවත්වන ලදී.

ලංකා වැවිලිකරුවන්ගේ රයිෆල් බළකා සාමාජිකයින්ගෙන් සමන්විත ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත ඒකාබද්ධ යුද්ධ හමුදාවන්හී පරාර්ථකාමී හා රණකාමී විරුවන්ගේ දීර්ඝකාලීන අතීත මතකයන් යලි ආවර්ජනය කිරීම උදෙසා මෙහිදී උදෑසන දේව මෙහෙයක් පැවැත්වූ බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි වූ අතර ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලවල මහ කොමසාරිස්වරුන්, තානාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, සම්භාවනීය ආරාධිතයින් සහ ආරක්‍ෂක උපදේශකයින් මෙම අවස්ථාවට සහභාගී වූ බව යුද හමුදාව පවසයි.

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් හොලි සහ නවසීලන්ත මහ කොමසාරිස් අතිගරු මිචෙල් ඇප්ලටන් යන මහත්වරුන්ගේ ආරාධනයෙන් සම්භාවනීය ආරාධිතයින් විසින් දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය කරමින් කොඩි කණුව වෙත පුෂ්පෝපහාර පුදකරන ලදී.

1915 වසර අවසානයේ දී තුර්කියේ ‘Gallipoli’ හිදී පැවති යුද්ධයේදී බොහෝ ඕස්ට්‍රේලියානු සොල්දාදුවන් ජීවිත පරිත්‍යාග කිරීමෙන් පසු 1916 වසරේ සිට සෑම වසරකම අප්‍රේල් 25 වන දින ANZAC දිනය සමරනු ලබන බව හමුදා ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

එවකට මහනුවර ස්ථාපිත කර තිබූ ලංකා වැවිලිකරුවන්ගේ රයිෆල් බළකායේ ස්වෙච්ඡා රෙජිමේන්තු කණ්ඩායමක් 1914 දී පළමු ලෝක යුද්ධ සමයේදී ඊජිප්තුවට යාත්‍රා කළ අතර 1915 අප්‍රේල් මාසයේදී ලංකා වැවිලිකරුවන්ගේ රයිෆල් බළකායේ තවත් තුර්කියේ 1 වන ANZAC වෙත එක් වූ බවද වාර්තා වේ.