හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් කරුණු පැහැදිළි කිරීම සබැඳිව නිකුත් කරනු ලබන මාධ්‍ය නිවේදනය

මැයි 07, 2022

1.    වර්තමානයෙහි රටතුළ උද්ගතව ඇති ආර්ථික හා සමාජයීය අර්බුදකාරී තත්ත්වය සහ නොසන්සුන්කාරී ස්වභාවය සැලකිල්ලට ගෙන ඉතාමත්ම බුද්ධිමත්ව සහ ඉවසීමෙන් යුතුව එය පාලනය කිරීමට සහයෝගය ලබාදෙන ලෙස ප්‍රථමයෙන්ම ඔබ සියලු දෙනාගෙන්ම ආරක්‍ෂක අමාත්‍යාංශය ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටී.

2.    ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට සාමකාමී ලෙස දිවයිනේ ඕනෑම ස්ථානයක සිට තම උද්ඝෝෂණ සහ විරෝධතා පළකිරීමට ජනතාවට ඇති ප්‍රජාතන්ත්‍රික අයිතියට අප සියලු දෙනාම ගරු කළ යුතු බව සඳහන් කළ යුතුය.

3.    විශේෂයෙන්ම පසුගිය දින කිහිපය තුළ සාමකාමී අරගලයක් ලෙස පවත්වාගෙන යනු ලැබූ අරගලයෙහි මුහුණුවර වෙනස් කරමින් සාමාන්‍ය ජනතාවගේ ජනජීවිතය අඩාල වන අයුරින් හා ප්‍රචණ්ඩකාරී ලෙස ක්‍රියා කිරීමට උත්සාහ කරමින් මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝණය වන පරිදි රටෙහි විවිධ ස්ථානවල සිදුකරනු ලබන ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ සහ හර්තාල් හේතුවෙන් පොදුවේ මහජනතාව මහත් දුෂ්කරතාවයකට පත්වී ඇති බව සියලු දෙනාටම පෙනීයන කරුණකි.

4.    මෙහිදී විවිධ අවස්ථාවන්හිදී ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු උද්ඝෝෂණකරුවන් විසින් රටෙහි පවත්නා සාමාන්‍ය නීතිය පිළිබඳව කිසිදු තැකීමක් සිදු නොකොට නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමට කැපවී ක්‍රියා කරනු ලබන පොලිසියේ සහ ආරක්‍ෂක අංශයන්හි නිලධාරීන්ගේ රාජකාරීන්වලට බාධාවන අයුරින් ප්‍රචණ්ඩකාරී ලෙස ක්‍රියා කරන ආකාරයත් ඔවුන් කෙරේ දක්වන තර්ජනය කිරීම් ආදියත් නිරීක්‍ෂණය වී ඇත.

5.    මෙම හේතුව නිසා රටේ නීතියට ගරුකරන බහුතරයක් වන සාමාන්‍ය පුරවැසියන් වෙත ඔවුනගේ දෛනික ජනජීවිතය පවත්වාගෙන යාමට අවැසි අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමේ දැඩි අසීරුතාවයකට පත්ව ඇත.

6.    ඇතිව තිබෙන මෙම හදිසි තත්ත්වය සැලකිල්ලට ගෙන අතිගරු ජනාධිපතිතුමා වෙත ව්‍යවස්ථානුකූලව පැවරී ඇති බලතල ප්‍රකාරව මහජන ආරක්‍ෂක ආඥා පනතේ දෙවන වගන්තිය අනුව රටේ ජනාධිපතිවරයාට හිමිවන බලතල යටතේ මහජන සාමය පවත්වාගෙන යාමේ අරමුණින් සහ ජන ජීවිතය සුරක්ෂිත කොට සමාජ ස්ථාවරත්වය තහවුරු කිරීමේ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව ස්ථාපිත රාජ්‍ය ව්‍යූහය හා ව්‍යවස්ථාපිත ආයතන ක්‍රමාණුකූලව පවත්වාගෙන යාමේ අරමුණ පෙරදැරි කරගනිමින් 2022 මැයි මස 06 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

7.    වගකිවයුතු පුරවැසියන් ලෙස රටේ සියලු දෙනාම ඉතාමත්ම බුද්ධිමත්ව සහ ඉවසිලිවන්තව රටෙහි නීතිය හා සාමය ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බව ඔබ සියලු දෙනාටම දන්වා සිටිනු ලබන අතර, මෙවන් හදිසි අවස්ථාවන්හීදී ඔබ සැමගේ ආරක්‍ෂාව වෙනුවෙන් කැපවී ක්‍රියා කරනු ලබන ත්‍රිවිධ හමුදාව සහ පොලිස් දෙපාර්තමේන්තුව වෙත ඔබගේ සහයෝගය ලබා දෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයත් මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයත් රටේ සියලුම මහජනතාවගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනු ලැබේ.