ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට

මැයි 09, 2022

දකුණු වෙරළට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදේ සති තුනක කාලයක් පුරා සෝදිසි කිරීමකින් පසු හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ 240 ක විශාල තොගයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගියදා අත්අඩංගුවට ගන්නා ලදී.

නාවික හමුදා මාධ්‍ය පවසන පරිදි, නාවික හමුදාවේ සයුරළ නෞකාව විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමඟ සම්බන්ධීකරණයෙන් සිදු කරන ලද මෙහෙයුමකදී දකුණු වෙරළට නාවික සැතපුම් 630 ක් (කිලෝමීටර් 1166) පමණ ඔබ්බෙන් ධජ හිමි රාජ්‍ය අනාවරණය නොකළ සැකකටයුතු විදේශීය ධීවර යාත්‍රාවක් හඳුනාගෙන ඇත.

නාවික හමුදාව ප්‍රකාශ කළේ යාත්‍රාවට ගොඩ වූ නාවිකයින් විදේශීය ජාතිකයින් හත් දෙනෙකු සමඟ මත්ද්‍රව්‍ය කිලෝ 240 ක් පමණ අත්අඩංගුවට ගත් බවයි. ගෝනි අටක පුරවා තිබූ ඇසුරුම් 220ක තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවද එහි සඳහන්.

මෙම මත්ද්‍රව්‍ය තොගය සහිත විදේශීය ධීවර යාත්‍රාව දිවයිනට රැගෙන ඒම සඳහා ජාවාරම්කරුවන් විසින් ජාත්‍යන්තර මුහුදේ ස්ථානගත කිරීමට නියමිතව තිබූ එකක් බවට ශ්‍රී ලංකා නාවික හමුදාව සැක පළ කරයි.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 4800කට අධික බව විශ්වාස කෙරේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදු කරන බැවින් සැකකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කර නොමැති බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.