නීතිවිරෝධී ක්‍රියාවලට එරෙහිව දේශපාලන පක්ෂ භේදයකින් තොරව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා – ආරක්‍ෂක ලේකම්

මැයි 11, 2022

·      මේ රටේ කිසිම පුරවැසියෙකුහට හානියක් කිරීමට ඉඩක් නැත

·      ප්‍රචණ්ඩකාරී ක්‍රියා සඳහා සමාජ මාධ්‍ය වේදිකා භාවිතා නොකරන්න

·      විදේශ හමුදා සම්බන්ධ කර ගැනීම අවශ්‍ය නොවේ - ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති

 ප්‍රචණ්ඩකාරී පහරදීම්, කඩාකප්පල් කිරීම්, රාජ්‍ය හා පෞද්ගලික දේපළවලට හානි කිරීම සහ ගිනි තැබීම්වලට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව දේශපාලන පක්ෂ භේදයකින් තොරව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (11) ආරක්‍ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

 අපරාධකරුවන්ගේ වීඩියෝ දර්ශන සියල්ල එක්රැස් කර ඇති බැවින් ඒවා විශ්ලේෂණය කිරීමෙන් පසු ඔවුන් නීතිය හමුවට පමුණුවන බව හානියට පත් දේපළ ප්‍රමාණය සංඛ්‍යාත්මක ලෙස දක්වමින් ඔහු සඳහන් කලේය.

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මේ රටේ සියලුම පුරවැසියන් ආරක්ෂා කිරීමට අප බැඳී සිටින බැවින් රටේ කිසිම පුරවැසියෙකුට හානි කිරීමට කිසිවෙකුට ඉඩක් නොමැති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

 " කොවිඩ් වසංගතය සහ ගුරු වර්ජනය යන දෙකින්ම සිසුන්ගේ අධ්‍යාපන කටයුතු මෙයට පෙර අඩාල වූ බැවින් සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ඉඩ සලසා දෙන ලෙස මම මේ රටේ සියලුම ගුරුවරුන්ගෙන් සහ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා" යනුවෙන් ඔහු පැවසීය.

 ප්‍රචණ්ඩකාරී ක්‍රියා සඳහා සහ නීති විරෝධී කටයුතු සඳහා වෙනත් අය කැඳවීමට සමාජ මාධ්‍ය වේදිකා භාවිතා නොකරන ලෙස ඔහු විසින් ඉල්ලා සිටි අතර එවැනි සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා ලඝු වෙමින් පවතින බවත් පැවසීය.

 පොදු දේපළ සොරකම් කිරීම හා පුද්ගලයන්ට හෝ දේපළවලට හානි සිදු කරන පුද්ගලයන්ට වෙඩි තැබීමට ත්‍රිවිධ හමුදාවට ලබාදී ඇති නියෝග පිළිබඳව ඔහු යළිත් අවධාරණය කළේය.

පසුගියදා දිවයිනේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු නව දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ද ජෙනරල් ගුණරත්න වැඩිදුරටත් කියා සිටියේය.

 පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් තුවාල ලැබූවන් 219ක්, ගිනි තැබූ වාහන 41ක්, වාහන හානි 61ක් සහ දේපළ හානි 136ක් වාර්තා වී ඇති බව සමස්ත අලාභහානි පිළිබඳව කරුණු දක්වමින් ඔහු ප්‍රකාශ කළේය.

 පවතින තත්ත්වය මත හෙට (12) දින උදෑසන රටපුරා ඇඳිරි නීතිය ඉවත් කෙරෙනු ඇති බවත්, සුළු සිද්ධීන් කිහිපයක් හැර අද දින ප්‍රචණ්ඩකාරී ක්‍රියා පිළිබඳ වාර්තා වී නොමැති බවත් ඔහු සඳහන් කළේය.

 නීතිවිරෝධී සිදුවීම් දිගටම පැවතුනහොත් ඇඳිරි නීතිය නොවෙනස්ව පැවතිය හැකි බවත් ඉදිරි කාලසීමාව තුළ දිවා හෝ රාත්‍රී කාලයේ ඇතිවිය හැකි ඕනෑම සිදුවීමකට ප්‍රතිචාර දැක්වීමට නීතිය ක්‍රියාත්මක කරන ආයතන සුදානම් බවත් ඔහු අවධාරණය කළේය.

 අඛණ්ඩව ක්‍රියාත්මක ඇඳිරි නීතිය හේතුවෙන් සාමාන්‍ය ජනතාවට සිදුවන අපහසුතාවයන් පිළිබඳව සිය කනස්සල්ල පළ කළ ජෙනරල් ගුණරත්න, ආරක්ෂාව තහවුරු කර රට සාමාන්‍ය තත්ත්වයට පත්වනතුරු එම අපහසුතාවයන් සුලු කාලයක් විඳදරාගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පැවසීය. .

පැතිරයන කටකතා සම්බන්දයෙන් විදෙස් මාධ්‍යවේදියකුගේ පැනයකට ප්‍රතිචාර දැක්වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියාසිටියේ අප හමුදාව හොඳ පළපුරුදු හමුදාවක් බවත් අප රටේ ආරක්‍ෂාව නිවැරදිව කළමනාකරණය කිරීමේ පූර්ණ හැකියාව අපට ඇති බැවින් මෙහි නීතිය හා සාමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අපට විදේශ හමුදා අවශ්‍ය නැති බවත් වෘත්තීයමය වශයෙන් සුදුසුකම් ලත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ලෙස අපගේ ආරක්‍ෂක කටයුතු කළමනාකරණය කිරීමට අපට පූර්ණ හැකියාවක් ඇති බවත් පැවසීය.

පවතින තත්ත්වය හමුවේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මේ වන විට ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ සිටින බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තහවුරු කළේය.

පවතින තත්වය යථාතත්වයට පත් වූ වහාම හිටපු අග්‍රාමාත්‍යවරයා කැමති ස්ථානයකට යවන බව ද ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

අද පැවති විශේෂ මාධ්‍ය හමුවට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සහ දෙස් විදෙස් මාධ්‍යවේදීන් විශාල පිරිසක් එක්ව සිටියහ.