ගංවතුරින් විපතට පත් අ.පො.ස (සා.පෙළ) සිසුන් 156 දෙනෙකුට යුද හමුදාව පහසුකම් සපයයි

මැයි 24, 2022

ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් අද (24) උදෑසන ගංවතුරින් විපතට පත් වූ පුත්තලම ශාන්ත ඇන්ඩෘස් මධ්‍ය මහා විද්‍යාලයේ අ.පො.ස (සා.පෙළ) සිසුන් 156 දෙනෙකු වහාම ඉවත් කර, ඔවුන්ට නැවත විභාගය ආරම්භ කිරීම සඳහා පාසලේ ආරක්ෂිත ස්ථානයක් කඩිනමින් සකස් කර දෙන ලදී.

ගංවතුර හේතුවෙන් ජලයෙන් යට වූ පාසල් පරිශ්‍රයේ ජල මට්ටම ඉහළ යාමත් සමග වහාම ක්‍රියාත්මක වූ 143 වන බලසේනාවේ භට පිරිස් විසින් සියලුම ඩෙස් පුටු ඉවත් කර එම විද්‍යාලයේම තෙමහල් ගොඩනැගිල්ලක උඩුමහලේ විභාග ශාලාව සකසනු ලැබු බව යුද හමුදා මාධ්‍ය වාර්තා කරයි.

විදුහල්පතිවරයා සහ විභාග පරීක්ෂකවරුන් සමඟ සාකච්ඡා කර මෙම වැඩපිළිවෙළ සකස් කර ඇති අතර පැය භාගයකටත් අඩු කාලයකින් විභාග කටයුතු යළි ආරම්භ කිරීමට හැකිවූ බව යුද හමුදාව වැඩිදුරටත් පවසයි.