නීති විරෝධී ලෙස සංක්‍රමණයවීමට ගත් උත්සාහයක් නාවික හමුදාව ව්‍යර්ථ කරයි

මැයි 24, 2022

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 67 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (23) සවස අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදාව විසින් සල්ලිසම්පල්තිව් සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකින් මෙම නීතිවිරෝධී සංක්‍රමණික ජාවාරම ව්‍යර්ථ කළ බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව නිලාවේලි පොලිසිය සමඟ සම්බන්ධීකරණයෙන් පිරිමි සැකකරුවන් 12 දෙනෙකු ප්‍රථමයෙන් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් ලද තොරතුරු මත තවත් සැකකරුවන් 55 දෙනෙකු එදින සවස ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මෙහෙයුමේදී ත්‍රිරෝද රථ දෙකක්, වාහන දෙකක් සහ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් ද අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩිදුරටත් පවසයි.

යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව, පුත්තලම, අම්පාර, රත්නපුර, ගම්පහ සහ කොළඹ යන ප්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන්ගේ බඩු බාහිරාදිය සහ වාහන සමඟ ත්‍රිකුණාමලයේ අදාළ පොලිස් ස්ථාන වෙත භාර දීමට නියමිතය.

තවද, මෙවැනි ජාවාරම්කරුවන්ගේ ජාවාරම්වලට හසුවෙමින් අනතුරුදායක මුහුදු ගමන්වල යෙදීමෙන් තම ජීවිත හා දේපළ අවදානමට ලක් කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටී.