නාවික හමුදා බෝට්ටු මගින් සිසුන් විභාග මධ්‍යස්ථානවලට

මැයි 25, 2022

·    ගංවතුරින් විපතට පත්වුවන්ට සහය වීමට නාවික හමුදාව සුදානමින්

කලවාන ප්‍රදේශයේ ගංවතුරෙන් විපතට පත් විභාග අපේක්ෂකයින්ට සහය වීම සඳහා අද (25) දින නාවික හමුදා ගංවතුර සහන කණ්ඩායම් යොදවා තිබේ.

තවද, ගංවතුර අවදානම් සහිත ප්‍රදේශ වෙත ළඟාවීම සඳහා ඔවුන්ගේ අතිරේක සහන කණ්ඩායම් ද සුදානමින් තබා ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කළේය.

අපොස සාපෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට සහය ලබාදෙමින් නාවික හමුදාව ඊයේ (24) අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් වූ පුත්තලම දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පෙළ විභාග කටයුතු පැවැත්වීමට කටයුතු කල බව නාවික හමුදා ආරංචි මාර්ග පැවසීය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් පරිදි වයඹ නාවික විධානය විසින් පුත්තලම විභාග මධ්‍යස්ථාන වෙත සහන සැලසීමට කටයුතු කරන ලදී.

ඒ අනුව, සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට අදාළ විභාග මධ්‍යස්ථාන වෙත යාමට සහ ආපසු නිවෙස් වෙත ආරක්ෂිතව ගමන් කිරීම සඳහා පහසුකම් ලබා දී ඇති බව ද නාවික හමුදාව පැවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් නාවික හමුදාව සිසුන්ට පහසුකම් සැලසීමේ අරමුණින් සහන කණ්ඩායම් ඊයේ සවස රත්නපුර කලවාන දෙල්ගොඩ විහාරය වෙත පිටත් කර ඇති බවද ඔවුන් වැඩිදුරටත් පැවසීය.