යුද සමයේදී කාන්තා බළකායේ සේවය ප්‍රශංසනීයයි - ආරක්‍ෂක ලේකම්

මැයි 30, 2022
  • කාන්තා බළකාය ජාතියට ගෞරවණීය සේවයක් ඉටු කලා

ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ කාන්තා සෙබළියන් අපරිමිත කැපකිරීම් කරමින් රට වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කරන ලදී.

ඔවුන් විසින් තමන්ට පැවරුනු රාජකාරීන් නිසි පරිදි ඉටු කිරීම නිසා යුද පෙරමුණේ සිටි සොල්දාදුවන්ට ඔවුන්ගේ වගකීම සම්පුර්ණ කිරීමට හැකි විය.

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මෙම අදහස් පළ කළේ ඊයේ (මැයි 29) සවස කැලණිය “ක්ලෝවර් රිසෝට්“ හි පැවති ශ්‍රී ලංකා සේවා මුක්ත යුද හමුදා කාන්තා සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනි.
 
ඔවුන් විසින් ලබාදුන් විශාල සහයෝගය පිළිබඳ සිහිපත් කරමින් ජෙනරල් ගුණරත්න තවදුරටත් සඳහන් කලේ, යුද්දයේ දී තුවාල ලැබූ සෙබළුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර සිටිය දී, හෙදියන්, උපස්ථායකයින් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය ලබා දුන් සත්කාර සේවා හොඳින් දුටු බවත් ඔවුන්ගේ එවැනි විශිෂ්ඨ සේවාවන් සිහිපත් කිරීමට කිසිවිටකත් පසුබට නොවන බවත්ය.

තවද, ඔබ සැවොම ජාතියට ගෞරවණීය සේවයක් සිදු කළ බව සත්‍යයක් යනුවෙන්ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

තම මව සහ පියා දෙදෙනාම යුද හමුදා සේවයේ නිරතවීම හේතුවෙන්ම දරුවන් මුහුණ දුන් මහත් දුෂ්කරතා පිළිබඳව ඔහු මෙහිදී සිහිපත් කළේය.
 
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරල් උපුල් පෙරේරා ඇතුළු ශ්‍රී ලංකා සේවා මුක්ත යුද හමුදා කාන්තා සංගමයේ සාමාජිකාවන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්විය.