මේජර් ජෙනරල් විකුම් ලියනගේ යුද හමුදාපති ධුරයට

මැයි 31, 2022

යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් විකුම් ලියනගේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද හමුදාපති ලෙස පත් කෙරේ.

ඊට අදාළ ලිපිය අද (31) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිතුමා විසින් මේජර් ජෙනරල් ලියනගේ වෙත භාරදෙනු ලැබිණ.

දැනට යුද හමුදාවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන මේජර් ජෙනරල් ලියනගේ හෙට (ජුනි 01) යුද හමුදාපති ධුරයේ වැඩ භාර ගැනීමත් සමඟ ලුතිතන් ජෙනරල් නිලයට උසස් කෙරෙනු ඇත.

මාතලේ විජය විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව 1986 ඔක්තෝබර් 27 වන දින කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක් විය. දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයෙන් සහ පාකිස්තාන හමුදා විද්‍යා පීඨයෙන් මූලික හමුදා පුහුණුව ලබාගත් මේජර් ජෙනරල් ලියනගේ දෙවන ලුතිතන්වරයෙකු ලෙස ගජබා රෙජිමේන්තුවට එක් විය.

තම 35 වසරක කීර්තිමත් යුද හමුදා දිවිය තුළ 4 වන ගජබා රෙජිමේන්තුවේ ඛණ්ඩ භාර නිලධාරී, කණ්ඩායම් භාර නිලධාරී සහ විධායක අධිකාරි යන තනතුරු ගණනාවක් දරා ඇති ඔහු  අණ දෙන නිලධාරී, බලසේනාධිපති, සේනාංකාධිපති, ආරක්‍ෂක සේනා ආඥාපති තනතුරු ඇතුළු අණ, මාණ්ඩලික සහ උපදේශක පත්වීම් ගණනාවක් දරා ඇති අතර, ඇමරිකාව, ඉන්දියාව, පාකිස්තානය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් කිහිපයක ආරක්‍ෂක සහ වෘත්තීය පුහුණු පාඨමාලා හදාරා ඇත.

මානුෂීය මෙහෙයුමේදී 57 සහ 56 සේනාංක යටතේ 8 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් ලියනගේ එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව ජයග්‍රහණ රැසක් ලබාදීමට සමත් වූවෙකි. තවද ඔහු විසින් රණවික්‍රම, රණශූර පදක්කම්, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු හා නැගෙනහිර මෙහෙයුම් පදක්කම ඇතුළු පදක්කම් රැසක් හිමිකර ගෙන ඇත.