ජාතික වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවලියේ පදක්කම් රැසක් යුද හමුදාවට

ජුනි 13, 2022

46 වැනි ජාතික වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවලිය - 2022 තරඟාවලියේදී ශ්‍රී ලංකා යුද හමුදා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් රාශියක් දිනාගෙන ඇති අතර, එක් පිහිනුම් ක්‍රීඩකයෙක් නව ජාතික වාර්තාවක් ද පිහිටුවීය.

ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය සඳහන් කළේ, කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පිහිනුම් තටාකයේදී මෙම මස 8 වැනිදා සිට 11 වැනිදා දක්වා මෙම තරඟ පැවැත්වුණු බවයි.

යුද හමුදා පිහිනුම් ක්‍රීඩක ගජබා රෙජිමේන්තුවේ 2 වන ලුතිනන් එච්.ඩී.ඒ. පීරිස් මීටර් 50 පසුපස ආර ඉසව්ව තත්පර 26.24කින් නිමකර ජාතික වාර්තාවක් පිහිටුවීය.  

පිරිමි විවෘත ඉසව්වේ හොඳම පිහිනුම් ක්‍රීඩකයා ලෙස රන් පදක්කම් 5ක් සහ රිදී පදක්කම් 2ක් ලබාගනිමින් 2 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ආර්.ජී.ඒ. කරුණානායක හිමිකර ගත් බව එහි සඳහන් වේ.

යුද හමුදා පදක්කම් සටහනට පිරිමි අංශයේ රන් පදක්කම් 16ක්, රිදී 13ක් සහ ලෝකඩ පදක්කම් 11ක් ඇතුළත් වන අතර, යුද හමුදා කාන්තා පිහිනුම් ක්‍රීඩිකාවන් රන් 01ක්, රිදී පදක්කම් 04ක් සහ ලෝකඩ පදක්කම් 01ක් දිනා ගන්නා ලදි.