රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවකුගේ මවකට රණවිරු සේවා අධිකාරියෙන් නව නිවසක්

ජුනි 15, 2022

ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටියදී මියගිය රණවිරුවෙකුගේ මවක් සඳහා රණවිරු සේවා අධිකාරියේ මැදිහත්වීමෙන් හොරණ දොඹගොඩ ප්‍රදේශයේ නව නිවසක් ඉදිකර භාරදීම ජූනි මස 13 දින සිදුකරන ලදි.

ඒ අනුව, 19 වන ගැමුණු හේවා රෙජිමේන්තුවට අයත් කෝප්‍රල් කවීන්ද්‍රලාල් සේනාධීරගේ මෑණියන් වන එස්. ජී. කළ්‍යාණවතී මහත්මිය වෙත මෙම නිවස ලබාදීමට කටයුතු කර ඇත.

ජේ.එස්.ඩබ්ලිව් ඇපරල් ආයතනයේ සභාපති චමල් ද මෙල් මහතා විසින් රුපියල් ලක්ෂ 25 කට ආසන්න මුදලක් මේ සඳහා පරිත්‍යාග කර ඇති අතර, යුද හමුදා ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වය ලබාදුන් බව රණවිරු සේවා අධිකාරිය පැවසීය.

කළ්‍යාණවතී මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයන් ජීවත් වූ නිවස 2021 වර්ෂයේ ඇතිවූ නායයෑම් හේතුවෙන් හානියට පත් වීම නිසා මෙම නව නිවස ඉදිකර ලබාදීමට කටයුතු කල බව රණවිරු සේවා අධිකාරිය වැඩිදුරටත් පැවසීය.

ජේ.එස්.ඩබ්ලිව් ඇපරල් ආයතනයේ සභාපති චමල් ද මෙල් මහතා, රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), රණවිරු සේවා අධිකාරියේ කළුතර දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරීනී ගයේෂි ලක්ෂිකා මෙනවිය ඇතුළු පවුලේ සාමාජිකයන් මෙම අවස්ථාවට සහභාගි විය.