බංග්ලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක සහ ආරක්‍ෂක ලේකම් අතර හමුවක්

ජුනි 15, 2022

බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඉබ්නේ ෆසාල් ෂෙයිකුසමාන් අද (ජුනි 15) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

මෙම සුහද සාකච්ඡාවේදී මේජර් ජෙනරල් ෂෙයිකුසමාන් මහතා ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේවය අගයමින් කියා සිටියේ අනාගත හමුදා නායකයින් සඳහා හිතකර පුහුණු පරිසරයක් එහි නිර්මාණය කර ඇති බවයි.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් ගුණරත්න ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය පිළිබඳව කළ අදහස් සම්බන්ධයෙන් ඔහු වෙත සිය ස්තුතිය පුද කළේය.

ඔහු බංග්ලාදේශ යුද හමුදාවේ හිටපු ප්‍රධාන ඉංජිනේරුවරයෙකු වන අතර, බංග්ලාදේශ යුද හමුදා ජාත්‍යන්තර විද්‍යා හා තාක්‍ෂණ විශ්වවිද්‍යාලයේ භාරකාර මණ්ඩලයේ සභිකයෙකු ද වේ.

මෙම හමුව සනිටුහන් කරමින් ජෙනරල් ගුණරත්න සහ මේජර් ජෙනරල් ෂෙයිකුසමාන් අතර සමරු තිළිණ හුවමාරු කරගැනීමක් ද සිදුවිය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර ද සහභාගි විය.