තවත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ජුනි 20, 2022

ශ්‍රී ලංකා නාවික හමුදාව ඉරිදා (ජුනි 19) දින කේරළ ගංජා කිලෝග්‍රෑම් 543 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, උඩප්පුව පෙරියපාඩු වෙරළ තීරයේ උදෑසන සිදුකල පාමුර සංචාරයක් අතරතුරදී මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය සඳහන් කරයි.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි නෞකාවට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් මෙම පාමුර සංචාරය සිදුකර ඇති අතර, එහිදී වෙරළට ගොඩ ගසා තිබූ ගංජා ඇසුරුම් 173 ක තොගයක් සොයා ගැනීමට හැකි වූ බව එහි සඳහන් වේ.

එම ප්‍රදේශයේ නාවික මුර සංචාර පැවතීම හේතුවෙන් ගංජා තොගය ගොඩබිමට ගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් අතහැර දමා ගොස් ඇති බවට නාවික හමුදාව විශ්වාස කරන අතර, මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 120කට ආසන්න බවද එහි සඳහන් වේ.

නාවික හමුදා නිලධාරීන් විසින් මෙම කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා උඩප්පුව පොලිසිය වෙත භාරදී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.