නිරාවිය යුද හමුදා ගොවිපළේ බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියක්

ජුනි 28, 2022

රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදු කරනු ලබන අක්කර 100ක භූමි ප්‍රමාණයක බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර ඊයේ (ජුනි 27) තඹුත්තේගම නිරාවිය යුද හමුදා ගොවිපළේදී ආරම්භ කරන ලදී.

යුද හමුදාපතිතුමන් නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වූ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු යුද හමුදා සාමාජිකයින් පිරිසක් සමග මෙම ස්ථානයේ බඩ ඉරිඟු පැළ කිහිපයක් රෝපණය කළ බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම ගොවිපලට යාබද කලාඔය නිම්නයේ ජල මූලාශ්‍ර මගින් මේ සඳහා ජලය ලබගනු ලබන අතර ශ්‍රී ලංකා යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායට අයත් යුද හමුදා භට පිරිස් මේ සඳහා යොදවා ඇත.

රජයේ කෘෂිකාර්මික විශේෂඥයින්, ගොවිජන සේවා නිලධාරීන් සහ යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලයේ විශේෂඥයින්ගේ උපදෙස් මත ක්‍රියාත්මක වන ජාතික හා කාලීන වශයෙන් වැදගත් මෙම ව්‍යාපෘතිය මගින් බඩඉරිඟු අක්කර 500 ක් ආවරණය කිරීමට නියමිතයි.

යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අරෝෂ රාජපක්ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක් මේ සඳහා සහභාගී විය.