2022 එක්සත් ජනපද තැනැත්තන් වෙළෙඳාම පිලිබඳ වාර්තාවට (US TIP Report 2022) අනුව ශ්‍රී ලංකාව දෙවන මට්ටමට (Tier 2) උසස් වේ

ජුලි 20, 2022

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2022 ජූලි 19 වන දින නිකුත් කරන ලද 2022 එක්සත් ජනපද තැනැත්තන් වෙළෙඳාම පිලිබඳ වාර්තාවට (US TIP Report 2022) අනුව ශ්‍රී ලංකාව උසස් කර ඇති බව ශ්‍රී ලංකාවේ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායෙන් (NAHTTF) සභාපතිත්වය දරණ ආරක්‍ෂක අමාත්‍යාංශය සතුටින් ප්‍රකාශ කරයි. තවද තුන්වන මට්ටම (Tier 3) දක්වා පහල යාමේ අවධානම සහිතව සහ එක්සත් ජනපදයේ සහය මෙන්ම බහුපාර්ශ්වික සංවර්ධන බැංකු වල ආධාර සඳහා යම් යම් සීමා කිරීම් වලට යටත් වීමේ අවධානම සහිතව ශ්‍රී ලංකාව පසුගිය වසර තුන තුළ එහි දෙවන මට්ටමේ (Tier 2 Watch List) නිරීක්‍ෂණ ලැයිස්තුවේ රැදී සිටින ලදී.

එක්සත් ජනපද තැනැත්තන් වෙළෙඳාමෙහි වින්දිතයින් ආරක්‍ෂා කිරීමේ පනත (TVPA) පරිදි සකස් වූ තැනැත්තන් වෙළෙඳාම පිලිබඳ (TIP) වාර්තාව, තැනැත්තන් වෙළෙඳාම සම්බන්ධයෙන් විදේශීය රජයන් සම්බන්ධ කර ගැනීම සඳහා එක්සත් ජනපදයේ ප්‍රධාන රාජ්‍යතාන්ත්‍රික මෙවලම ලෙස හැඳින්වේ. එය රාජ්‍යයන්හි තැනැත්තන් වෙළඳාමට එරෙහි ප්‍රයත්නවල ලෝකයේ වඩාත්ම පිළිගන්නා ක්‍රමය ලෙස ද සැලකේ.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රජය තැනැත්තන් වෙළඳාම තුරන් කිරීම සඳහා වන අවම ප්‍රමිතීන් සම්පූර්ණයෙන් සපුරා නොමැති බව නිරීක්‍ෂණය කරන අතර (පළමු වන මට්ටමට පැමිණීම අවශ්‍ය වන) සමස්තයක් ලෙස පෙන්නුම් කර ඇති පරිදි ශ්‍රී ලංකාව ඒ සඳහා සැලකිය යුතු උත්සාහයක් ගන්නා බව හඳුනාගෙන ඇති අතර කොවිඩ්-19 වසංගතය හමුවේ එහි ජාවාරම් වැලක්වීමේ හැකියාව කෙරෙහි ඇති කරන බලපෑම සැලකිල්ලට ගනිමින්, පෙර වාර්තාකරණ කාලපරිච්ඡේදය හා සසඳන විට සමස්තයක් ලෙස එහි වර්ධනයක් පෙන්නුම් කර ඇත.

තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ සභාපතීත්වය දරණ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් පත් කරන ලද ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලයේ නායකත්වය යටතේ පිහිටුවා ඇති නිලධාරී මණ්ඩලයක් මගින් සහ විදේශ කටයුතු අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළෙඳපොළ විවිධාංගීකරණය පිළිබඳ පැවති රාජ්‍ය අමාත්‍යාංශය, කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය, සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශය, ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් සහ සමුද්‍ර අපරාධ විමර්ශන අංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, කම්කරු දෙපාර්තමේන්තුව, ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව, අපරාධ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්‍ෂා කිරීම සඳහා ජාතික අධිකාරිය, අපරාධ බුද්ධි විශ්ලේෂණ සහ නිවාරණ අංශය, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යන ආයතනයන් නියෝජනය කරමින් පත් කරන ලද නිලධාරී මණ්ඩලයක් විසින් 2021 - 2025 ජාතික උපාය මාර්ගික ක්‍රියාකාරී සැලැස්මට අනුව ශ්‍රී ලංකාවේ තැනැත්තන් වෙළෙඳාම නිරීක්‍ෂණය කිරීම සහ මර්දනය කිරීම සඳහා උපරිම කැපවීමෙන් සහ සාමූහිකත්වයෙන් යුතුව කටයුතු කරන ලදී.

තැනැත්තන් වෙළෙඳාම නමැති දරුණු අපරාධය ඵලදායි ලෙස මෙරටින් තුරන් කිරීම සඳහා තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය සම්පුර්ණයෙන්ම කැපවී සිටින බවට මෙම වාර්තාව නිරීක්‍ෂණය කර ඇති අතර එය සපුරාගැනීම සඳහා ප්‍රමුඛතා නිර්දේශ මාලාවක් ද සපයා ඇත.