යාපනයේ අඩු ආදායම්ලාභී පවුලකට යුද හමුදාවෙන් නව නිවසක්

ජුලි 26, 2022

ශ්‍රී ලංකා යුද හමුදාව සිය ප්‍රජා සේවා තවදුරටත් පුළුල් කරමින් චාවකච්චේරිය චන්ද්‍රපුරම් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නව නිවසක් ඉදිකර පසුගියදා එම පවුල වෙත පවරා දෙන ලදී.

 යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ උපදෙස් මත යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 52 වන සේනාංකය යටතේ ඇති 523 බලසේනාවේ 4 සහ 7 වන විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් ඔවුන්ගේ ඉංජිනේරු සහ තාක්‍ෂණික කුසලතා සහ ශ්‍රම දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය නිම කළ බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

යාපනය අර්ධද්වීපයේ ‘සත්‍ය ශ්‍රී’ සංවිධානයේ වී. මනෝහරන් මහතා විසින් මෙම සත් ක්‍රියාවට මූල්‍ය සහාය ලබා දුන් බව යුද හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.

නව නිවසේ යතුරු, නිවාස ප්‍රතිලාභී නාගමනී සරස්වතී මහත්මියට සහ ඇගේ පවුලේ අයට කෙටි උත්සවයකදී ප්‍රදානය කෙරිණි.

එම පවුලේ එම පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පාසැල් ලිපි ද්‍රව්‍ය තොගයක් සමඟින් නව නිවස සඳහා අත්‍යාවශ්‍ය ගෘහ භාණ්ඩ සහ වියළි සලාක ද එම පවුලට ලබා දුන් බව යුද හමුදා මාධ්‍ය වාර්තා කළේය.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රතිලාභීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.