රුපියල් මිලියන 9 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං
පේසාලේ දී නාවික හමුදා අත්අඩංගුවට

ජුලි 29, 2022

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරම, පේසාලේ, කුරුසපාඩු මුහුදු ප්‍රදේශයේදී පසුගියදා සිදුකළ විශේෂ මෙහෙයුමකදී රත්‍රං ග්‍රෑම් 470ක් සහ වාලම්පුරියක් අත්අඩංගුවට ගෙන ඇත.

මුහුදු මාර්ග ඔස්සේ සිදුවන නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීමේ මෙම උත්සාහයේදී මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 03 දෙනෙකු සහ එම භාණ්ඩ ප්‍රවාහනය කිරීමට යොදාගත් ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට පත් වූ බව නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

එම රත්‍රංවල වෙළඳපල වටිනාකම රුපියල් මිලියන නවයකට (9) අධික බව විශ්වාස කෙරේ.

පුත්තලම සහ පේසාලෙයි ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති මෙම සැකකරුවන්, රත්‍රං, වාලම්පුරිය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කළ බව නාවික හමුදාව තහවුරු කළේය.