“ 9 වන කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය” බ්‍රහස්පතින්දා ආරම්භ වේ

අගෝස්තු 27, 2019

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර ආරක්ෂක සම්මන්ත්‍රණය වන “කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය - 2019” බ්‍රහස්පතින්දා (අගෝස්තු 29) දින ආරම්භ වේ. අඛණ්ඩව 9 වන වරටත් දෙදිනක් පුරා පැවැත්වෙන සමුළුව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වේ.

බ්‍රහස්පතින්දා උදෑසන පැවැත්වෙන සමාරම්භක උත්සවය සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

“සමකාලීන ආරක්‍ෂක වටපිටාව තුළ විකාශනය වන හමුදාමය විශිෂ්ටත්වය” (Evolving Military Excellence in the Contemporary Security Landscape) යන තේමාව යටතේ මෙම වසරේ සමුළුව පැවැත්වේ. දේශීය හා විදේශීය හමුදා නිලධාරීන්, ආරක්ෂක විශේෂඥයින්, ගෝලීය උපායමාර්ග විශේෂඥයින්, බුද්ධිමතුන්, හමුදා විශේෂඥයින්, රාජ්‍ය තාන්ත්‍රික හා වෙනත් සම්භාවනීය අමුත්තන් විශාල ප්‍රමාණයක් මෙම වසරේ සම්මන්ත්‍රණය සදහා සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.සම්මන්ත්‍රණය ඇමතීමට විදේශීය කථිකයින් 13 ක් සහ දේශීය කථිකයින් 14 දෙනෙකු සහභාගී වන අතර රටවල් 40 කට වැඩි ප්‍රමාණයක නියෝජිතයින් පිරිසක් මෙවර සම්මන්ත්‍රණය සදහා සහභාගී වීම තහවුරු කර ඇත.

දෙදිනක් පුරා පැවැත්වෙන සැසි නවයකින් යුත් සම්මන්ත්‍රණය සදහා වත්මන් ආරක්‍ෂක භූමීකාව: ගැටුම් හෝ සහයෝගීතාවය (Contemporary Security Landscape: Conflict or Cooperation), ත්‍රස්තවාදය සමඟ සටන් කිරිම (Confronting Terrorism), හමුදා නවීකරණය (Modernization Military), වත්මන් ආරක්‍ෂක භූමීකාව තුළ හමුදා සුදානම් කිරිම (Military Readiness in the Contemporary Security Landscape), යන තේමාවන් යටතේදී ඉදිරිපත් කිරීම්, සාකච්ඡා කිරීම් සහ බුද්ධිමය අන්තර්ක්‍රියා ඇතුළත් වේ.

කොළඹ කිංග්බරි හෝටලයේදී ඊයේ (අගෝස්තු 26) සවස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවේදී සම්මන්ත්‍රණය පිලිබදව නිවේදනය කරන ලදී