මාලදිවයින් ආරක්ෂක උපදේශක ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් හමුවෙයි

සැප්තැම්බර් 02, 2022

කොළඹ, මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් කාර්යාලයේ සිය ධුර කාලය අවසන් කිරීමට නියමිත ආරක්‍ෂක උපදේශක කර්නල් ඉස්මයිල් නසීර් සහ නව ආරක්‍ෂක උපදේශක ලෙස පත් කරන ලද ලුතිනන් කර්නල් හසන් අමීර් අද (සැප් 02) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි ආරක්‍ෂක උපදේශකවරුන් ජෙනරල් ගුණරත්න විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම සුහද හමුවේදී ආරක්‍ෂක උපදේශකවරයා විසින් ආරක්ෂක ලේකම්වරයාට තම ධුර කාලය තුළ ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ලබාදුන් සහයෝගිතාව පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය.

මේ අතර, ජෙනරල් ගුණරත්න මහතා නික්ම යන ආරක්‍ෂක උපදේශක විසින් ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත ලබාදුන් සහයෝගීතාවය පිළිබඳව සිය ප්‍රශංසාව පළ කළ අතර, දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වූ ඔහුගේ සහය ද අගය කළේය. ආරක්‍ෂක ලේකම්වරයා විසින් නව ආරක්‍ෂක උපදේශකවරයාට ද  සුබ පැතුම් පිරිනැමීය.

එම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්‍ෂක ලේකම්වරයා සහ නික්ම යන ආරක්‍ෂක උපදේශකවරයා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර ද සහභාගී විය.