වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ තෙල් කාන්දු ප්‍රතිචාර හැකියාවන් වැඩිදියුණු කිරීමට පියවර

සැප්තැම්බර් 02, 2022

ජ්‍යෙෂ්ඨ උපදේශක කෝජි සූචියා මහතා ප්‍රමුඛ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ සහ ජපාන වෙරළාරක්ෂක බලකායේ නියෝජිතයින් පිරිසක් පසුගියදා මිරිස්සේ පිහිටි ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලස්ථානය වෙත පැමිණ එහි අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක සමග තෙල් කාන්දු ප්‍රතිචාර හැකියාව තවදුරටත් වැඩිදියුණු කිරීමේ මාර්ග පිළිබඳව සාකච්ඡාවක් සිදු කරන ලදී.

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ හැකියාවන් වර්ධනය සහ විශේෂයෙන් තෙල් කාන්දු කළමණාකරණය සම්බන්ධයෙන් ජපානය විසින් සපයනු ලබන දැවැන්ත පුහුණු සහාය රියර් අද්මිරාල් ඒකනායක මහතා මෙහිදී අගය කරන ලදී.

2022 සිට 2025 දක්වා සමුද්‍ර පරිසර ආරක්ෂණය සහ ආපදා අවම කිරීම සඳහා අභ්‍යන්තර තෙල් කාන්දුවීම් කළමනාකරණ පුහුණු වැඩසටහනක් ස්ථාපිත කිරීමට ආයතනික සහාය ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ මේ වසරේ පෙබරවාරි මාසයේදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට අනුව ජපාන වෙරළාරක්ෂක බලකාය සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය විසින් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ තෙල් කාන්දු ප්‍රතිචාර හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා උපදේශන සේවාවක් ආරම්භ කර ඇති බව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව ව්‍යාපෘතියේ ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා දෙපාර්ශවය අතර මෙම ඒකාබද්ධ සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්වූ බව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව පැවසීය.

පිටත්ව යාමට පෙර මෙම දූත පිරිස දකුණු වෙරළාරක්ෂක කලාපයේ තෙල් කාන්දු ගබඩා පහසුකම්, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක නෞකා සමුද්‍රරක්ෂා, කිරින්ද උසස් පුහුණු මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක නෞකා සමරක්‍ෂා ඇතුළු දික්ඕවිට තෙල් කාන්දු උපකරණ ගබඩා අංගනය නැරඹීමට ගිය බව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.