යාපනයේ තරුණයින් වෙනුවෙන් යුද හමුදාව පාපන්දු තරඟයක් සංවිධානය කරයි

සැප්තැම්බර් 13, 2022

යුද හමුදා භට පිරිස් විසින් පසුගියදා සංවිධානය කරන ලද සුහද පාපන්දු තරඟයක් යාපනය යොවුන් කණ්ඩායම සහ ක‌ඩෙයිකාඩු යොවුන් කණ්ඩායම අතර  ක‌ඩෙයිකාඩු පාපන්දු පිටියේදී යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්දන විජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

යුද හමුදාව සහ උතුරේ සිවිල් ක්‍රීඩා කණ්ඩායම් අතර ක්‍රීඩාශීලිත්වය, සුහදතාවය සහ අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම තරඟය පැවැත්වූ බව යුද හමුදා මාධ්‍ය වාර්තා කළේය.

රාජ්‍ය නිලධාරීන්, යාපනය ප්‍රදේශයේ භට පිරිස් සහ සිවිල් වැසියන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සුහද තරඟයේ ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ ත්‍යාග ප්‍රදානය කිරීම යාපනය ආරක්ෂක සේනා ආඥාපති විසින් සිදු කළ බව යුද හමුදාව සඳහන් කළේය.